අද හෙට සදහට පියවෙන නෙතු මගේ නුඹ එන මඟ බලනවා දුවේ..
ඉඳහිට හිතයට ගැස්සෙන පැතුමක හෙවනැලි අතරින් නුඹම මැවේ..
අහසට පොළවට බරවන හුස්මක මැසිවිලි කඳුළින් පිරී තැවේ..
මහගෙට කුමකට පායන ඉර හඳ නුඹ නැති විට එය එළිය නොවේ..
කන්න අඳින්නට දෙන්නට යහමින් රන් කහවණු ගෙන එන්න සොයා..
නන්නාදුනනා පිට රැටියන්ගේ බැල මෙහේ කරනට නුඹත් ගියා..
ටික දවසක් තොරතුරු මට කීවත් මුතුවන් අකුරින් හැඩට ලියා..
අනේ මගේ රන්කඳ නිහඬයි කලකින් නොදනී නුඹ අද කොහෙද කියා..
කොහෙන් හොයන්නද හරි විස්තරයක් සවියක් නෑ මා දැන් මහළුයි..
අඬ අඬ ඉකිලන දුක මුමුනද්දී ගැලුවේ අපමණ උණු කඳුළුයි..
උඹේ දරු මල්ලොත් පුoචියි තාමත් උණුහුම් වී උන් මට තුරුළුයි..
ඒත් මගේ පණ නුඹ නැති මේ ලොව ඉන්නට බෑ අඳුරුයි පාළුයි..
හිනා මලක් ගෙන හීනෙන් ඇවිදින් සතුටින් කියලා මට කියපන්..
අම්මේ කියලා එක වචනෙක හරි නුඹෙ විස්තරයක් මට ලියපන්..
නූල් පොටක් වත් ඕනෑ නෑ මට දරු පැටවුන් ගැනවත් හිතපන්..
මියැදෙන්නට කලියෙන් මගේ දෝණියේ අදවත් පණිවිඩයක් එවපන්..