මව් කුසක උණුහුම ලැබ ටික කාලයයි එහි ගත උනේ..
පුංචි අත පය වැඩෙන හින්දද අම්මේ ඔබ කලබල උනේ..
සීතලෙන් පිරි දියර ගැබ එක්වරම කැලති රත් උනේ..
අනේ ඇයි පොඩි මාව අම්මේ ඔබට කරදරයක් උනේ..
මවක් හොයමින් පාවි පාවි සිටින විට මා ඒ කලේ..
ඔබයි අම්මේ දිනක අමතා කුස තුලට මා යා කළේ..
ඔබම එන්නට කියා ඇයි මට ඔබම මේ දඬුවම් කළේ..
උල් කතුරු තුඩු දමා ඇන ඇන කිමද හුස්මක් තද කළේ..
සතුටු වී ඔබ පතා ඉල්ලූ බිළිඳු දරුවා මා නොවි නම්..
අහම්බයකින් හිතට නතු වී ඔබේ කුසට මා නාවා නම්..
වැරදක් ඔබ හට නොකෙරු මා සමඟ ඔබ අමනාප නම්..
දොසක් නොකියා යන්න යන්නම් ඔබට සතුටක් දැනේ නම්..
හුඟක් පව් කර නොතිබුණා නම් අම්මේ ඔබ ළඟ ඉන්න තිබුනා..
කවුරු ළඟ නැති උනත් ඔබ හට මගේ සෙනෙහේ දෙන්න තිබුනා..
මේ හැටිම ඉක්මන් නොවුනා නම් මටත් දරුවෙක් වෙන්න තිබුනා..
බිඳී විසිරුණු පණ මගේ ලේ කැදළි වී බිම හැලී තිබුනා…