ඇසිපිය සලන දෙවඟන මනු දෙරණ මත..
කිසිදා පුරන් නොමවන රන් සෙනෙහේ කෙත..
පින්කඳ සදිසි මුතු පබළු වෙහෙර කොත..
මවුනි නුඹයි සුවඳැති සොද නෙළුම් පත..
සිරුරින් රිදුම් විඳ හඬවා වැදුම් ගෙය..
රුහිරෙන් පෙරා කුස පුරවා හොවා ළය..
තම දූ පුතුන් වෙත කඹුරා දිවා රැය..
සැනසුම් සුසුම් හෙලුවා හිත පුරා ඇය..
වරදක් දුටුව කල සැරවැර කලත් බැන..
මොහොතින් තැවෙයි නෙත කඳුළැලි පුරා ගෙන..
අපමණ පැතුම් සෙත්කවි ගී අසිරි දෙන..
අම්මා මිසක කවුරුද ළඟ ඉන්නේ වෙන..
අසරණ වෙලා රිදවුම් ඇවිලෙනා විට..
හිත නුඹ ළඟයි නෑ මිදුනේ නුඹෙන් පිට..
නුඹ නැති ලොවක මා තනිවෙන දිනක හෙට..
අම්මේ හුස්ම නැතිවෙයි අරගන්න මට..