ඔබගේ දෑතේ එල්ලිලා උණු කඳුළු දෑසේ පුරවලා..
මුල් දිනේ පාසැල් ගියපු ඒ මතක අද ඇත ඇහැරිලා..
අදත් දිරියක් වෙලා හිඳිමින් මගේ ගාවම දැවටිලා..
අම්මේ ඔබගේ කඳුළු ශක්තිය අරන් අද මා රජවෙලා..
අලුයමින් අරඹනා දවසට ඔබ විදපු දුක් අපමනයි..
විදි කොතෙක් දුක් ඇතත් හිතුවේ මගේ සතුටම විතරමයි..
සිහින අරගෙන ඉගිල යන්නට දුන්නු ඔවදන් හයියමයි..
අද පුතා මේ නෙලා ගන්නේ ඔබේ දහඩියේ ප්රතිපලයි..
මෙමා ලොකු මිනිසෙකු කරන්නට දෑතේ කරගැට පීදුනේ..
තවම රිදවුම් දැනෙනවා ඇති සැපක් කෙදිනද රැඳවුනේ..
මටත් වැඩියෙන් ඔබේ දිරියයි නිබද මා පණ ගැන්වුනේ..
අම්මේ ඔබේ සෙනෙහස් උපාධිය නිසයි මා මිනිසෙකු උනේ..
උපාධිය දෝතින් අරන් ගෙන ආපු ගෞරව පිලිඅරන්..
සිනාසී ඔබ හැංගු කඳුළක බර දැනේ මහමෙර තරන්..
පියානන් නැති ලෝකයේ මා තනි නොකර තුරුලට කරන්..
හැදු පින ඇති නිවන් දැකුමට අම්මේ මාගේ රත්තරන්..