ක්‍රි.ව 1293 රජව සිටි 2 වන භුවනෙකබා රජුගෙන් ආරම්භ වී ක්‍රි.ව 1347 දක්වා 5 වන විජයබා රජුගේ රාජ්‍ය අවධිය දක්වා වූ කාල පරිච්ඡේදය සිංහල සාහිත්‍ය ඉතිහාසයේ කුරුණෑගල්පුර සාහිත්‍යය අවධිය ලෙස දැක්විය හැකිය. මෙම කුරුණෑගල්පුර සාහිත්‍ය අවධියට අයත් වන්නේ වසර 54ක් තරම් වූ කෙටි කාල පරාසයකි. සාහිත්‍ය තුළ සලකා බැලීමේ දී මෙම කුරුණෑගල් පුර සාහිත්‍ය අවධිය අනුරාධපුර , පොළොන්නරුව, දඹදෙණි සාහිත්‍ය අවධීන් තරම් විශිෂ්ටත්වයක් නොදැරීය. පොළොන්නරු යුගය සිංහල ගද්‍ය සාහිත්‍යයේ ස්වර්ණමය යුගය ලෙසත් .කෝට්ටේ යුගයේ සිංහල පද්‍ය සාහිත්‍යයේ ස්වර්ණමය යුගය ලෙසත් හඳුන්වයි . එහෙත් මෙම කුරුණෑගල් පුර යුගය එමෙන් විශිෂ්ට ගණයේ සාහිත්‍ය අවධියක් ලෙස නොසැලකුවත් යම් යම් විශේෂ කරුණු කිහිපයක් හේතු කොටගෙන මෙම යුගය යම් වටිනාකමක් ලද යුගයක් බව පෙනේ.
මෙම යුගයේ දී ලියැවුණු ග්‍රන්ථ වන්නේ
1.පන්සිය පනස් ජාතක පොත. 2.බෝධී වංශය. 3.ථූපවංශය. 4.දළදා සිරිත. 5.දඹදෙණි අස්න . 6.දළදා පූජාවලිය . 7.අනාගත වංශය . 8.සඳ කිඳුරු දා කව.
01.පන්සියය පනස් ජාතක පොත
පන්සිය පනස් ජාතක පොත පාලි ජාතක කතාව සිංහලයට නැගීමෙන් රචනා කරන ලද්දකි.මහා වංශයේ සඳහන් පරිදි සිව්වන පැරකුම්බා රජු විසින් ජාතක පොත රචනා කරනු ලැබිණි .එහෙත් ජාතක කතා පොතෙහි සඳහන්ව ඇත්තේ වීරසිංහ පතිරාජ හා පරාක්‍රම නම් වූ අමාත්‍යවරයා විසින් ජාතක පොත සකස් කර ඇති බවයි.
මෙම පන්සිය පනස් ජාතක පොත එක් කතුවරයකුගේ ගේ කෘතියක් ලෙස දැක්විය නොහැක . යම් කෘතියක එකම ආකාරයේ භාෂා විලාශයක් මෙන්ම එකම ආකාරයේ භාෂණ ශක්‍යතාවයක් තිබිය යුතු වුව ද ජාතක කතා පොතෙහි එබඳු එකම ආරක භාෂා විලාශයක් හෝ භාෂණ ශක්‍යතාවයක් දක්නට නොලැබේ .එකල පරිවර්තන මණ්ඩලයක් මඟින් මෙම ජාතක පොත සිංහලයට නැඟූ බව දැක්විය හැක. එම පරිවර්තන මණ්ඩලයෙ ප්‍රධානත්වය මේධංකර හිමියන් ට හිමි වූ බව දැක්වේ. සිංහල සාහිත්‍ය ඉතිහාසයේ සම්භාවනාවට ලක් වූ විශිෂ්ටතම කෘතියක් ලෙස ජාතක පොත දැක්විය හැක. විවිධ යුගවල පද්‍ය රචකයන්, නාට්‍ය නිර්මාණකරුවන් ,ගීත රචකයින්, චිත්‍රපට අධ්‍යක්ෂකවරුන් , චිත්‍ර ශිල්පීන් තම නිර්මාණ සඳහා මෙම ජාතක කතා පොත මූලාශ්‍රය ලෙස ගෙන තම නිර්මාණ නිර්මාණකරණයේ යෙදුණි.
එවැනි පද්‍ය නිර්මාණ අතර මුවදෙව්දාවත, කව්සිළුමිණ ආදි පද්‍ය ග්‍රන්ථ ද මනමේ, පබාවතී ,ලෝමහංස වැනි නාට්‍ය ද කුස පබා , වෙස්සන්තර වැනි චිත්‍රපට ද , දෙගල්දොරුව සිතුවම් ද මෙම ජාතක කතා පොත මූලාශ්‍ර කොට ගෙන නිර්මාණය වූ කලා කෘති වේ . මේ හා සමාන පොදු ජන ජීවිතය හා සම්බන්ධ වූ හා බද්ධ වූ තවත් ග්‍රන්ථයක් නොමැති තරම් වේ . එසේම එදිරිවීර සරත්චන්ද්‍රයන්ගේ ”විලාසිනියකගේ ප්‍රේමය” නම් නවකතාව ද මෙම ජාතක කතා පොත මූලාශ්‍ර කොට ගෙන බිහි වූ නිර්මාණ වේ . “අජානීය ස්කූටර තුරගා පිට ” , “මගෙ බිසව්නේ අසාපන්”වැනි ගීත ද ජාතක කතා කථා පදනම් කොටගෙන නිර්මාණය වූ ඒවා වේ .
විවිධ ක්ෂේත්‍රයන්හී කලා කටයුතු සඳහා පාදක වූ ඉතා විශිෂ්ට මූලාශ්‍රයක් ලෙස ජාතක කතා පොත දැක්වීමත් සමඟ කුරුණෑගලපුර සාහිත්‍ය අවධිය විශේෂත්වයට පත් වීමට තුඩු දුන් එක් හේතුවක් විය .
විවිධ චරිත විවිධ සමාජ අවස්ථා හා මනුෂ්‍ය සිත් තුළ පවතින සංකීර්ණ ලක්ෂණ පෙන්නුම් කිරීමට ප්‍රතිනිර්මාණය කළ වෙනත් කතා සංග්‍රහයක් නොමැති තරම් වේ.
02. සිංහල බෝධි වංශය
පාලි බෝධි වංශයේ පරිවර්තනයක් ලෙස මෙම කෘතිය දැක්විය හැක. වෙල්ගම් මුල හිමි විසින් පරාක්‍රමබාහු රජුගේ ආරාධනාවකට අනුව මෙම ග්‍රන්ථය රචනා කරනු ලැබීය.
1.ජය ශ්‍රී මහා බෝධිය කවර අර්ථයකින් බෝධි නම් වේ ද ? 2.කවර කෙනෙකුගේ බෝධියක් ද ? 3.කුමක් සිදු කෙරේ ද ? 4.කවරෙකු විසින් ජාතක කරන ලද්දේ ද ? 5.කවර තැනක පිහිටියේ ද ? යන කරුණු පහ මුල් කොටගෙන ගෙන කරනු ලබන විග්‍රහයක් ලෙස සිංහල බෝධි වංශය දැක්විය හැකිය . ජය ශ්‍රී මහා බෝධි රාජයාණන් වහන්සේ ගේ ඉතිහාස කතාව මින් කියවේ . සංස්කෘතික මිශ්‍ර භාෂා ශෛලියකින් මෙය රචනා වී ඇත.
03. ථූප වංශය.
පාලි ථූප වංශයේ සිංහල අනුවාදය ලෙස සිංහල ථූපවංශය රචනා කර ඇත . “සකල විද්‍යා චක්‍රවර්ති පරාක්‍රම පණ්ඩිතයන් විසින්” මෙම පොත කරවා ඇති බව ට ග්‍රන්ථය අවසානයේ සඳහන් වේ . ලක්දිව එකල ඉදිකරවූ ස්තූපයන් පිළිබඳව පුළුල්ව විස්තරාත්මකව සඳහන් වන මෙම ග්‍රන්ථයේ දුටුගැමුණු රජු විසින් රුවන්වැලි මහා සෑය ඉදි කරවීම සම්බන්ධව ඉතා දීර්ඝ විස්තරයක් සඳහන් වේ .එම විස්තරයත් සමඟ ම දුටුගැමුණු රජු යනු වීර චරිතයක් ලෙස සලකා රචනා වී තිබීම ද මෙම ග්‍රන්ථයේ විශේෂත්වයකි.
04. දළදා සිරිත.
දෙව් රූ දම් පසිඟිනාවන් විසින් රචිත දළදා සිරිත විශේෂ වන්නේ එය රචනා කර ඇති රචනා ශෛලය නිසාවෙනි .එය වෘත්ත ගන්ධි රචනා ශෛලියෙන් ලියැවී ඇත. වෘත්ත යනු විරිතයි. එය පද්‍යයට උරුම ලකුණකි .පද්‍යයට උරුම වූ යම් විරිත් සුවඳක් වේද එම විරිත් සුවඳ ගද්‍යයට කැවු ශෛලය වෘත්ත ගන්ධි ලෙස රචනා ශෛලය නම් වේ.අර්ථ රසයට වඩා ශබ්ද රසයට වැඩි සැලකිල්ලක් යොමු කර මෙම ග්‍රන්ථය රචනා කර ඇති බව කියවේ. මෙහි දළදාව ලංකාවට වැඩම වීමේ පුවත මෙන්ම එය ලක්දිව අති උත්තම පූජනීය වස්තුවක් ලෙස පත් වූ ආකාරය සහ අතීත සිංහල රජදරුවන් උතුම් වූ දළදා වහන්සේට පුද පුද පූජා පැවැත් වූ ආකාරයත් මෙහි සඳහන් වේ . සිංහල සාහිත්‍ය ඉතිහාසය තුළ වෘත්ත ගන්ධි රචනා ශෛලියේ සිංහලයට හඳුන්වා දුන් ග්‍රන්ථය ලෙස ද මෙම දළදා සිරිත හැඳින්විය හැක.
05.දඹදෙණි අස්න.
මෙම දඹදෙණි අස්න ද රචනා වී ඇත්තේ වෘත්ත ගන්ධි රචනා ශෛලියෙනි. කර්තෘ පිළිබඳව සඳහනක් නොමැති මෙහි දඹදෙණි රාජධානියේ ආරම්භය සහ වර්ධනය පිළිබඳව සඳහන් වේ.
06. දළදා පූජාවලිය.
ලක්දිව දළදා වහන්සේ වැඩම වීම පිළිබඳ පුරාවෘත්තය මෙහි ඇතුළත් වේ එහෙත් කතුවරයා කවරෙක් ද යන්න මෙහි සදහන් ව නැත .දීර්ඝ වාක්‍ය ශෛලයක් භාවිතයට ගෙන තිබීම මෙම දළදා පූජාවලියේ විශේෂත්වය වේ.
07 අනාගත වංශය.
මෙතේ බුදු ලකර නමින් ප්‍රකට මෙම අනාගත වංශය නම් කෘතිය සිව්වන පැරකුම්බා රජුගේ ආරාධනයෙන් වෙල්ගම් මුල හිමි විසින් රචනා කොට ඇත.
08.සඳ කිඳුරු දා කව
කුරුණෑගල් පුර යුගයට අයත් එකම පද්‍ය නො වන නිර්මාණය ලෙස මෙම සඳ කිඳුරු දා කව දැක්විය හැක . පන්සිය පනස් ජාතක පොතෙහි එන චන්න කින්නර ජාතකය සිව් පදයට නැගීමෙන් මෙම සඳකිඳුරු දා කව නිර්මාණය කොට ඇත . එය සිංහල සිව්පද කාව්‍ය ආරම්භක කෘතිය ලෙස සැලකේ .ජන කවි සම්ප්‍රදාය මෙන්ම විදග්ධ කාව්‍ය සම්ප්‍රදායේ සම්මිශ්‍රණයක් ලෙස මේ කාව්‍ය ග්‍රන්ථය නිර්මාණය කොට ඇත.
මෙබඳු ග්‍රන්ථ රැසක් ම රචනා වූ කුරුණෑගල්පුර යුගය අනෙක් සාහිත්‍ය අවධීන් තරම්ම නොවූවත් ඉතා වටිනා විශේෂතා සමඟ ග්‍රන්ථ කිහිපයක් දායාද කළ අවධියක් ලෙස දැක්විය හැක.