කුසට වැටෙන තණකොල මිටියට දෙකට..
ගැලුම් ගණන් ලේ බිඳු හරවා කිරට..
රස පුන්නක්කු දුන්නත් බීමට නුඹට..
උපමා නොවේ අම්මේ උහුලන දුකට..
උදේ රැයින් එරෙනා කිරි දොවාගෙන..
බැරි බර අදී කෙවිටෙන් ගුටි තලාගෙන..
කඳුළු පිරුණු දෙනෙතින් මා බලාගෙන..
හවස එන්නේ නොකියා දුක දරාගෙන..
කාසි වලට අම්මගේ කිරි විකිණෙන්නේ..
නැතිවද ටිකක් හෝ මා හට හිමිවන්නේ..
හැමදා රැයේ කෙඳිරිලි හඬ නික්මෙන්නේ..
සුසුමින් වෙලී වෙහෙසින් ඇහැ පියවෙන්නේ..
කිරි බඩගින්න මගේ කුසටත් නිති දැනෙනා..
රිදුම් දෙවන තණ බුරුලට නිම් නොවෙනා..
යහමින් නැතත් බිඳ බිඳ අදරින් එරෙනා..
නුඹත් මවකි මතු බුදු වන්නට පතනා..