ජීවන මඟ කඳුළින් සරනා අවිහිංසක සමනලුනේ..
දුප්පත් කම උපතින් ලැබිලද ඔය අත් පා වෙහෙසන්නේ..
උහුලා ගන්නට බැරි තරමින් පොඩි හිත් අසරණ වන්නේ..
මල් වන් ළමයින් ඇයි මෙහෙවර කම් වල අද යොදවන්නේ..
සියුමැලි අත් පා කරගැට පුරවා නේක රිදුම් දීලා..
සුදුමැලි මුහුණින් කෙසඟ සිරුරකින් බයාදු කම් පාලා..
මහ මන්දිර තුළ වැඩපොළවල් තුල අනුනගේ ටොකු කාලා..
පොඩි මෙහෙකරුවන් ගැන කවුරුත් නෑ හිතවත් කම්පාලා..
පොත් පත් අරගෙන පාසැල් යන්නට හිමිකම් නැති හන්දා..
කෙළි සෙල්ලම් කර විනෝද වන්නට පින් නැතුවද මන්දා..
මිහිමව උඹලට වෙනසක් නැතුවම ආදරේ දෙන හින්දා..
හිනාවෙයන් දරු පැටවුනේ උඹලාටත් ඉරක් නැඟෙන හින්දා..
සියලුම දරුවන් තම දරුවන් ලෙස හිතන්න පුළුවන්නම්…
එකම හැන්දකින් හැමටම එකලෙස බෙදන්න හැකිවේනම්..
අඳුරු අහිංසක ජීවිත වෙනුවෙන් පිහිටක් වියහැකිනම්..
මමත් මගේ කවි හිත අරගෙන ඔබ පා මුල පුදදෙන්නම්..