කොතරම් අමතක කරන්න හැදුවත් අමතක කරන්න නොහැකි , සිතට වද දෙන රිදුමක් වන් මතකයක් අපි හැමෝගෙම ජීවිතවල තියෙනවා . වෙහෙසකාරී ජීවිතයෙන් මදකට මිදී තනිවුණු වෙලාවක එවන් මතකයන් හදවත කොනිති ගසමින් අපිව රිදෙනවා .
මේ තරම් වෙලාවක් හරි ආඩම්බරයකින්, ශක්තිමත්ව , කා ළගවත් දණින් වැටෙන්නෙ නැතුව හිටපු අපි ඒ මොහොතේ දී හරිම අසරණ කෙනෙක් බවට පත් වෙන්නේ අපිටත් නොදැනමයි. සමහර වෙලාවට ඒ අසරණකම අපේ දෑසින් අපිටත් හොරෙන් බිමට වැටෙනවා.
“සීරුවට ඇද වැටෙන සිහින් හිරිපොද වැස්සේ
තෙමෙන්නට හිත කියයි බොහෝ කලකට පස්සේ
හීනයට ඇවිත් යළි හාදු දෙන රෑ තිස්සේ
උණුසුමට තනි රකියි නුඹ තාම හිත අස්සේ “
සමරවිට අපි උවමනාවෙන්ම කාර්යබහුල වෙන්නෙ අපිට යම් කිසි කෙනෙක්ව , යම්කිසි දෙයක් අමතක කරන්න ඕනි වුණු විටදියි.
ඉතින් අපි උදෑසන අවදිවුණු වෙලාවේ ඉදන් දවස පුරා යන්ත්රයක් වගේ එක වැඩක් නිමා කරපු සැණින් තවත් වැඩක් පටන් ගන්නවා. කොයි තරම් අපි අපිවම රවට්ට ගන්න හැදුවත් කොයි මොහොතක හරි අපි ඒ උත්සහයෙන් පරදිනවා.
විශේෂයෙන්ම දවසේ නිමාව සටහන් කරමින් නිදිදෙව් දුව වැළද ගන්නට ගිය මොහොතේ දී මෙතෙක් වෙලා හරි අමාරුවෙන් හිරකරගෙන හිටිය මතක එකින් එක දිග හැරෙන්න පටන් ගන්නවා. අමාරුවෙන් හිර කරගෙන හිටිය කදුළු බින්දුවලට , නිදහසේ තමන්ට කැමති විදිහකට කම්මුල් දිගේ පහළට ගලාගෙන යන්න ඉඩ දෙනවා. මෙතෙක් වෙලා පපුවේ හිර කරගෙන හිටිය දිගු සුසුම් වැල්වලට තමුන් කැමති තාලෙකට , කැමති වේගෙකින් පිට වෙන්න දීලා ඔහේ බලාගෙන ඉන්නවා.
ජීවිතේ මේ විදියට ගෙවිල යනකොට ඇතැම් මතක යළි යළි පුබුදන්නට පාරිසරික සාධකත් බොහෝවිට ඉවහල් වෙනවා . එවැනි වෙලාවට අසරණ වෙන අපිට හිත අස්සට දෝර ගලාගෙන එන සිතුවිලිවලට, මතකවලට ඕනි දෙයක් කර ගන්න ඉඩදීල බලා ඉන්නව ඇරෙන්න වෙන කරන්න කිසිම දෙයක් අපිට ඉතුරු වෙලා නැහැ .
” මිහිරි තනුවක් ලෙසට සීත වැහි බින්දු වැටී
මේ තරම් ළං ළංව තුරැළේ වෙලෙනා හැටී
ඔබේ සෙනෙහේ නාමයෙන් පාට වෙන ලේ කැටී
ළග නැතත් ළග තියපු සුවද අදටත් වටි”
අපේ හුස්ම වගේ අපේ ළගින් හිටපු, සුළගක් වගේ අපි ළගම දැවටුණු සමහරක් අය අපේ ජීවිත වලින් යන්නම ගියේ අපේ සිනහවත් අරගෙනයි . යළි එන්නෙ නැහැ කියල දැන දැනත් අපි ඔවුන්ගේ මතකයන් එක්කම ජීවත් වෙනවා. ඔවුන් අපිට සමුදුන්නත් අපි ඔවුන්ට තවමත් සමුදීල නැහැ .
හැරගිය අයට වඩා දහස් ගුණයක් හොද , වටිනා පුද්ගලයන් අපේ ජීවිතවලට ළං වෙන්න හැදුවත් , හැර ගිය අය වෙනුවෙන් වෙන් වුණු ඉඩ වෙන කෙනෙක් වෙනුවෙන් ලබාදෙන්න බැරි මොකක්දෝ අමුතු හැගීමක් නිරන්තරයෙන්ම අපිව පෙලනවා.
” ගිනි පෙනෙල්ලෙන් බැට කෑ මිනිහ කණා මැදිරි එළියටත් බයයි” ඉතින් අපිත් යළිත් කිසිම කෙනෙක් වෙනුවෙන් යළිත් අපේ විශවාසය , ආදරය , කරුණාව පුද කරන්න බැරිව ළතවෙනවා.
“හමන සිහිලැල් පවන් ගතේ හීගඩු මවයි
මැවෙන සිතුවිලි මතින් තුරැළු වෙන්නම හදයි
ගෙවන හැම මොහොතකම මතකයට නුඹ ළගයි
ඒත් නෙතු අද්දරට නුඹේ රැව බෝ දුරයි”
ඉස්සර නෙත් අද්දරටම වී හිනැහුණු, දිනකට වරක් හෝ හිනැහුණු දිනකට වරක් හෝ ඇස ගැටුණු ඒ රුව අද දකින්නට පුළුවන් මතකයෙන් විතරයි .කොච්චර උත්සහ දැරුවත් අනාරාධිතව ඇස් අද්දරම මැවෙන ඒ රූපයෙන් නිදහස් වෙන්න හැකියාවක් නැහැ , හැකියාවක් තිබුණත් දෑස අද්දර මැවෙන ඒ රූපයෙන් මිදෙන්න අපිට කිසිදු උවමනාවක් ඇත්තෙත් නැහැ .
අනෙක් බැදීම් වලින් නිදහස් වෙලා ඇස් අද්දර මැවෙන ඒ රූපය එක්ක , ඒ පැරණි මතකයන් එක්ක තනි වෙන්න ඉඩක් අපි හොයනව.
ඒ තනිකම කොච්චර ලොකු පාලුවක් , පීඩාවක් ගෙන දුන්නත් අපි ඒ පාලුවට , විඩාවට ආස කරනවා .
” නොතේරෙන පාලුවක් හිත පුරා පැටලිලා
නොදැනීම කදුළු කැට පිරෙයි ඔබ සිහිවෙලා
කවුරුත් නැහැ මෙහෙම ඔබ තරම් ළං වෙලා
දිනක මුණ ගැහෙන තුරු ඉදිමි මම මග බලා”
ඒ වගේම අපි ඒ පාළුවට තනිකමට පුදුම විදිහට ආදරය කරන්න පටන් අරන්. ඉතින් ඉන් මිදී යන්නටත් අපිට කිසිදු උවමනාවක් නෑ. පාළු මාවතක තනිවෙලා අපි බලාගෙන ඉන්නෙම ඒ පාළුව හිනාවකුත් අරගෙන අපි ළගට ආයෙත් ඒවි කියන බලාපොරොත්තුවෙන්.