තුන්-රැකවලෙන්

තුන් රැකවලෙන් රට ජාතිය මුරකරනා..
දෑ විරුවනේ නමටයි ඔබේ කවි වරුනා..
ඔබ වැගිරු ලේ මහිමෙන් ලක් දෙරණා..
එදත් අදත් හෙටටත් සාමෙන් රැකෙනා..

හුස්ම රකින්නට ලක්වැසි අප හැමගේ..
පරදුව තබා ජීවිත රැඳෙමින් උමගේ..
නෑ පහසුවක් හිරවී සිටියදි බිම්ගේ..
දුක් සෝ සුසුම් කවදත් ඇත උඩු හුළගේ..

එල්ලා ගෙන බරට ආයුධ හා පතුරන්..
බියගුලු නොවේ ආවත් මුහුණට සතුරන්..
සීයක් මලත් ඉදිරියටම ගිය විරුවන්..
ඔබ ලක් මවගේ එඩිතර පාබල දරුවන්..

මහ සයුරෙන් වටවූ ලක් දෙරන නිසා..
නාවික සෙබල බල මුළු ඇත මුහුද වසා..
දිය පීරා එන සතුරන් සැනෙන් නසා..
ජය ගෙන ආවෙ දිනමින් මුළු සතර දිසා..

තෙරක් නොපෙනෙනා නිල්වන් අහස අරා..
නෙත් මානමින් උඩු ගුවනෙන් නිතර සරා..
සතුරු ඉසව් දැකගනිමින් උන්ට හොරා..
කළ විස්කම් පතලයි මුළු ලොවක් පුරා..

තල් වැට මායිමේ අසරණ මිනිසුන්ට..
නොපිරිහෙලා ළඟ ඉදිමින් වෙයි පිහිට..
තම මවු පියන් නෑයන් නෑ උණුහුමට..
හැම දිවි පුදා කැපවෙන්නේ නිති රටට..

වසර තිහක් රට හැඩවු කොටි පරදා..
මුල් අටුවෙන්ම උදුරා උන් බල බිදදා..
මරන බියෙන් හිටි ජාතිය බිය හැරදා..
රැකගත් ඔබට පිහිටයි සමිදුන් දළදා..

රට වෙනුවෙන් දිවි පිදු රණවිරුවන්නේ..
අත් පා අහිමි ආබාදිත සොයුරන්නේ..
ජාතිත් ජාති ඔබලට පින් හිමිවෙන්නේ..
තුන් රුවනේ පිහිටෙන් රට රැකපන්නේ..

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here