දුගී පැල්පතෙත් රාජ මාලිගෙත් මිනිසුන්මය ජීවත් වන්නේ..
ඉපදෙන මියයන දේ පොදුනම් ඇයි වෙනසක් මේ හැටි ඇති වෙන්නේ..
දුප්පත් පොහොසත් වර්ග බෙදාගෙන මිනිසත් කම අද කොයි යන්නේ..
ඇත්තා හිනැහි නැත්තා දුකෙනි ජීවිතයට හුස්මක් ගන්නේ..
සුවඳ උලා පට සලු දවටාලා සැප වාහන වල පියාඹමින්..
දුටුවිට අසරණ මිනිසුන් මහමග අඩවන් බැල්මෙන් සිනාසෙමින්..
සල්ලි මිටි ගනන් සිත්සේ දියකර බාල් නට නටා කමින් බොමින්..
පොහොසත් ඇත්තෝ ජීවිත ගෙනියයි එලොවක් මෙලොවක් නැති විලසින්..
කුස පොතු ඇඹරී දැලි කුණු තවරන් හිසට පවා හෙවනක් නැතිව..
එදා වේලවත් සොයා ගන්නේ උන් දාහක් දුක් කරදර මැදිව..
දරු මල්ලන් ගේ ඕනෑ එපාකම් සිඟමින් පිළිසරණක් පැතුව..
දුප්පත් ඇත්තෝ ජීවිත ගෙනියයි අදක් හෙටක් ගැන සැක ඇතුව..
පොළොවට පස් වෙන මිනිසත් කුණු කය කොතරම් වැඩ දා හැඩ කෙරුවත්..
අප සතු වත්කම් කොපමණ තිබුනත් යන්නට වෙයි දිනකදි කොහොමත්..
ඇති දේ හැකි පමණින් දන් දීලා පිරුවොත් ගුණ දම් වත් පිළිවෙත්..
පිනෙන් විවර වෙයි හැමට අමාමහ සැනසුම් දොරගුලු මෙත් නිවනෙත්..