පස්වාන් දහසකට බුදුවන්ඩ දෙවියනේ ..
කියන්නට අවනඩුව ඔබ වෙතට පැමිණුනේ..
අතු පතර පැන යද්දි දෙවොල ඔබේ දිස්වුනේ..
ගැත්තාට කරුණාව පා පිහිට වුවමැනේ..
පුංචි පුතු කූඩුවේ හිටියා යනකොට උදේ..
රැගෙන කෑමට යමක් එද්දී ඌ නෑ ඇඳේ..
හිත බියෙන් ගැහෙයි අද කඳුළු ඉහිලුම් නොදේ..
දරු දුකින් වෙලී හද සොවින් පිරිලා රිදේ..
බළල් තඩියෙක් මාන බල බලම හිටියාලු..
ඉව අල්ලමින් හොරෙන් ගේ දෙසම බැලුවාලු..
පොඩි එකත් හය හතර නොතේරෙන දඟයාලු..
අනේ ඌ බයවීලා මහ ගොඩාක් ඇඬුවාලු..
නපුරු කරදර නොවී මගේ පුතා හිඳින්නයි..
නිය පිටින් සීරුමක් වත් ඔහුට නොවෙන්නයි..
පින් ගන්න සාමිනේ දිව නෙතින් බලන්නයි..
රැගෙන මගේ පණ කෙන්ද පුතුගේ පණ රකින්නයි..