පින්බර තෙරණිය

හිමිවන මිනිසුන්ට අගයක් නැති ද , අගයක් ඇති මිනිසුන්ට කිසි දිනක හිමි නොවන දෙයකි ආදරය .  ලොව ඇති සුන්දර හැගීම් වලින් එකකි ආදරය . ආදර දැහැනින් බැදෙන දෙදෙනාම සම මිත්‍රත්වයක් , සම ප්‍රේමයක්, සම කරුණාවක් , සම ගරුත්වයක් එකිනෙකා කෙරෙහි දක්වන්නේ නම් ඒ බැදීම ලොව ඇති සුන්දරම ආදර කතා අතුරින් එකක් බවට පත් වෙනවා.
නමුත් දෙදෙනාගෙන් එක අයෙකු සිය ආදරය රැක ගන්නට අසීමිත කැපකිරීම් කරනවිට අනෙකා ඒ ආදරයට අසීමිතව රිදවුම් ගෙන ඒම කැපකිරීම් කරන ආදරවන්තයාට හෝ ආදරවන්තියට ලොවම එපා කරවන්නට හේතු වෙනවා.
මේ පෙම්වතියද දරන්නට හැකි සෑම වේදනාවක්ම කදුළු පිරි දෑසින් දරා ගත්තාය. ඉවසිය යුතු සෑම මොහොතකම උවමනාවටත් වඩා ඉවසුවාය. බිදෙන්නට ගිය සෑම මොහොතකම ආදර බැදීම් තදකොට තබන්නට හැකි සෑම උත්සහයක්ම ගන්නට දෙවරක් නොසිතුවාය . ඒ සෑම අවස්ථාවකම ඇයට හිමිවුයේ පරාජයයි. ඒ පරාජය තුළින් ජයග්‍රහණය ලියන්නට හැකිමගක් අවසන ඇය සොයා ගත්තාය.
මෙතෙක් විදි ආදරය අහිමි වූ තැන ඇයගේ අකීකරු පෙම්වතාට තම දිවි මගෙහි රන් පහන නිවී ගිය බව සෙමෙන් සෙමෙන් දැනෙන්නට පටන් ගත්තද , ආපසු හැරවිය නොහැකි ලෙසින් ඇය වෙනත් මගකට පිලිපැන අවසන්ය. සියළු නිස්සාර බැදීම්වලට සමුදී ඇය ගිහිගෙයින් නික්ම  ගොසිනි.

” පින්බරයි අද නිහඩ බැල්මන් දෑස් මත ඇදෙනා 
සංවරයි සක්මන් ගමන දැක හිත නිවී සැලෙනා
තනිවමයි අද මගේ ලෝකය අද ඔබ නිවන් පතනා
හදවතයි මේ පාරවන්නේ කදුළු කැට වැටෙනා “

අහිංසක මුවැත්තියක් සේ හුන් ඇය  අද පින්බර මෙහෙණියකි. ගමන සංවරය, දිගුනෙත් බිමට බරය, වදන් ද ඇසෙන නෑසෙන ගානය. අහිමි වී ගියේ තමන් ගැන වදවුණු , තමන්ටත් වඩා තමන් ගැන සිතූ, සෙවනැල්ල සේ ළග රැදුණු ඒ අමිල ආදරියයි.
මුළු ලෝකයම වෙනදා නැති පාළුවකින් වෙලී ගොසිනි , ඒ පාළුව පුරවාලිය හැකි කිසිවෙකුත් , යළිදු කිසි දිනෙක තමන්ට හිමි නොවනබව ඉදුරා කිව හැකිය. වැරදුනේ තමන්ටය, හැම වරදක්ම ඉවසූ ඇය , මවක ලෙසින් , සොහොයුරියක ලෙසින් , නැගණියක, මිතුරියක, දියණියක සේ ළගින් හුන් ඇය අද තමන්ව හැර ගොසිනි .ඇය නිවරදිය,  ඇය අත කිසිදු වරදක් නොමැත.

” ළතෙත් ආදර වදන් නෑ අද අප අතර රැදුනේ
නිවී සැනසෙන බුදු වදන්මයි සවනත් ඇසුනේ
වෙනදා වගේ බලන්නට බැහැ කෝලම්කම්  මුහුණේ
දෙනෙත් මගහැර ඒකමයි මම දෙපා මුල වැටුනේ”

වෙනදා තමන්ගේ මුවින් ගිලිහුණු පිහිතුඩු වැනි තියුණු වදන් ඒ මුදු හදවත බොහෝ රිදවූබවට කිසිදු සැකයක් නොමැත . නිල් උපුල් පෙති සේ දිගු නෙත් අගට කදුළු ගෙනෙන්නට හේතුවූවාට කිසිදු සැකයක් නොමැත, හදවත බර සුසුමින් පෙලන්නට වූ බවට කිසිදු සැකයක් නැත. අද ඒ දුක පෙරලා විදින්නට තමන්ට සිදුවී තිබේ.
වෙනදා තමන්ගේ එක රළු වදනකින් තමන්ට නතු වූ ඒ අහිංසකාවිය අද තෙරණියකි. තමන්ට ඇයව යලි යලිදු රළු වදනින් ඇයව පෙලන්නට ඇය කිසිදු ඉඩක් නොතැබූ ඇය දහම්පද වලින් බිදුණු හදවත සුවපත් කරගන්නීය.

” කප්පරක් ආදරේ නුඹ මට එක හිතින් පිදුවා
මහමෙරක් තරමට දුකක් මා ඔබට හිමි කෙරුවා
අයදිමින් තව ඉවසමින් ඔබ මා එතැයි සිතුවා 
කදුළු බැමි ඉරි තැලී සුසුමින් කසාවත් දැරුවා”

තමන් දුන් සෑම දුකක්ම ඉවසීමෙන් දරාගත් ඇය ආදරයම තමන් වෙත පිදුවාය. තමන්ගේ රළු වදනින් හදවත පාරවාගත් ඇය පෙරලා තමන් ඇමතුවේ ආදරබර වදනිනි. තමන්ගේ රැවුම් ගෙරවුම් වලට ඈ පිළිතුරු දුන්නේ සුන්දර සිනහවකිනි. සියල්ලම මනාවූ ඉවසීමකින්  නිහඬව දරාගත් ඇයට උවමනා කලේ නිහඩවම සමුගන්නට මිසක ඔහුගෙන් පලිගන්නට නොවේ.

” මා අතින් බෝ නපුරු රිදවුම් ඔබත් විදි නින්දා
නික්ම යන්නට ගිහිගෙයින් ඔබ හිතුවදෝ මන්දා 
සමාවෙනු යැයි කියන්නටවත් සුදුසු නැති හින්දා
පින්කදේ මම වැද වැටී නුඹේ දෙපායුග වැන්දා”

සියල්ල නිමවී අවසන්ය .  ඇයට දුන් වේදනා තමන් දැන් පෙරලා වින්දත් ඇය අත කිසිදු වරදක් නොමැත. සසර ගමන නිම කරන්නට ඈ ගත්  තීරණයට එක සිතින් ආශිර්වාද කළ යුතුය .

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here