හැඩට මිරිවැඩි පයට හුරු නැති නුඹ හෙලන දහඩිය ගලා..
නූල් දෙපටක එතුණු ඉඳිකටු තුඩක දිස්නය වැඩි කළා..
උදේ දහවල රැයද එක ලෙස හූල්ලන කුසගිනි තලා..
දූලී අවුලන වීදී මුල්ලක නුඹේ දුක සිල්ලර වෙලා..
අහක දමනට ලෝභ හිතුනම පරණ හමගිය සපත්තූ..
ඉරුණු ඇදවුනු කුඩද කදමළු ලිහුණු කල්ගිය සවුත්තූ..
අලුත් කරනට සොයා ආවත් රටේ නමගිය උගත්තූ..
නැතේ කිසිවිට සොයා බැලුවේ නුඹේ කකියන පොරොත්තූ..
කහට උගුරින් නිවාගන්නා දාහයෙන් වෙන බඩගිනී..
රහට කෑමක් ලැබුණු දාකට දරුපැටවු වෙයි පළවෙනී..
සතෙන් සතයට සොයා ගොතනා මැස්ම මතකේ පැටලුනී..
දිවි මගේ ලියවෙනා ගීයට කඳුළු යහමින් මුහුවුනී..
වකුටු කොන්දද රිදුම් දෙවනා පා යුගල වී දරදඬු..
දුබල අතැඟිලි ලෙයින් සායම් කරන ඉඳිකටු තෙලිතුඩූ.
කහට ගැන්වුනු මුවග සිනහා අරන් හිත පතුලින් හැඬූ..
දුටුවාද කිසිවිට කීරි ගැහෙනා සපතේරු පියෙකුගේ අවනඩූ..

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here