සිය පියතුමන් වන බිම්බිසාර රජ්ජුරුවන්ගේ යටි පතුල් පලා ලුණු පුරවා ගිනි අගුරු මත ඇවිදින්නට සැලැස්සූ  අජාසත් කුමරුට   තමන් ද  උතුම් පිය පදවියෙන් පිදුම් ලැබූ සුභ පුවත ඇසූ වනම පියෙකුගේ අගය දැණුන බවත් , දුරදිග නොසිතා තමා කළ අපරාධය ගැන නිරන්තරයෙන්ම  කම්පා වූ බවට  සාහිත්‍යය සාක්ෂි දරනවා. 
ගතින් කොතරම් ශක්තිමත් වුවත් , කොතරම්   වස්තු සම්පත් වූවත්  , පිරිමියෙකුට තමන් සර්ව සම්පූර්ණබව දැනෙන්නේ ඔහු පියෙකු වූ දිනයේදීය.” මට නෝමලි බබෙක්ව ඩිලිවරි කරන්න පුළුවන් , ඒත් අපේ හබියට දත් කැක්කුමක් දරා ගන්න එකම මහ අමාරු වැඩක්”  යනුවෙන් බොහෝ භාර්‍යාවෝ පවසන්නේ පිරිමින් ගත සවියෙන්,  කෙතරම් ඉදිරියෙන් සිටියද කාන්තා චිත්ත ශක්තිය ළගදී ඔහු පසුබසින හෙයිනි.
 එනිසාම දෙවියන් දෙවරක් නොසිතාම උතුම් මව් පදවිය කාන්තාවට තිළිණ කරනු ලැබුවාය . 
” මෙතරම් ආදරේ කෙරුවද සුදූ මට 
 විදි දුක බලා ගලනවා අද කදුළු කැට 
 උබයි මගේ කිරි කැටියයි අද දකින් විට 
 සෙනෙහේ ගලනවා පපුවක් පුරාවට”
නිවසකට කිරි උතුරන්නේ කිරි කැටියෙකුගේ සුරතල් සිනහවෙන් බව ඔබට අමුතුවෙන් කිව යුතු  නැහැ . බිරිදක්  විසින් තම සැමියාට පුදන උතුම්ම ත්‍යාගය වන්නේ ඔහුගේ ලෙයින් උපන් දරු සිගිත්තෙකුයි. 
මිනිස් ලොවට සතුට ගෙනෙන සුර දූතයන් අන් කිසිවෙකුත් නොව පුංචි දරුවන්බව  ළමා කතා රචක චාලස් ඩිකන් වරක් පවසා තිබේ. ඉතින් පුංචි සුරදූතයෙක් නිවසට එක්වෙන්න යනවා කියන ඉගිය ලැබුණු වෙලාවේ සිට මවක් තමන්ගේ අලුත් අමුත්තා පිළිගන්න සූදානම් වෙනවා. බොහෝ විට ඒ වෙනුවෙන් දැරිය යුතු බරපැන සියල්ල අනාගත තාත්තා විසින් දරනු ලැබුවත් ඒ වෙනුවෙන් බොහෝ වෙහෙස මහන්සි වෙන්නේ අම්මා. 
නූපන් දරු පැටියා වෙනුවෙන් අවශ්‍ය ඇදුම් ආයිත්තම් බොහොම ආසාවෙන් මසා ගන්නා ඇය , තබනා පියවරක් පියවරක් පාසා සිතන්නේ තම කුසෙහි වැඩෙන ආදරණීය දරු පැටියාගේ ආරක්ෂාව ගැනයි. නමුත් තාත්තට නම් අනාගතයේ දී නිවසට එන පුංචි අමුත්තා ගැන තවමත් එතරම් වගකීමක් දැනෙන්නේ  නැහැ . 
” මගේ නමින් ලොවට පුතෙකු පුදනු නියා 
රත්තරනේ පුදුම දුකක් වින්දා ඔයා
පිරිමි හිතක් බයටම හිරිවැටී ගියා
හිතන්නවත් බැහැ මට දුක් විදිනු තියා”
එක්තරා දොස්තර මහත්තයෙක් තමන් අත්විදි අත්දැකීමක්  සිනහමුසු මුහුණින් විස්තර කලේ ප්‍රසූත වේදනාව පිරිමියෙකුට දරන්නට තබා දකින්නටවත් අපහසුබව සපථ කරමිනි.
 පුද්ගලික රෝහලක සේවය කළ ඔහුට එදින කුළුදුල් මවකගේ දරු ප්‍රසූතිය භාරව තිබුණා. පියාටත් ප්‍රසූතිඝරයට පැමිණෙන්න අවසර තිබුණ නිසා , ඔහුත් පසෙකින් හිටියේ අලුත පැමිණෙන පුංචි කිරි කැටියව පිළිගැනීමේ අදහසින් . ටික වේලාවකින් පුංචි කිරි කැටියා , එළියට පැමිණෙන සුදානම්බවට පෙර නිමිති පහළ වුණා. මව ප්‍රසූත වේදනාව බලවත් නිසාම වේදනාවෙන් කෑ ගසන්නට පටන් ගත්තා. එක්වරම ඇගේ සැමියා වෙතට නෙත් හෙලූ දොස්තර මහත්තයට දැක ගන්න ලැබුනේ බිරිදගේ ප්‍රසූත වේදනාව දුටු සැමියා ක්ලාන්ත වී බිම වැටී සිටින ආකාරයයි.
 ඉතින් තමන්ගේ නමින් දරුවෙක් පුදන්නට කැපකිරීම් කරන්නිය වෙනුවෙන් පිරිමි ඇසක කදුළක් ඉපදීම විමතියට කරුණක් ද?

” දැනෙනවා ඔබේ ආදරේ බර පපුවටම   ඇත්තයි උඹට පණ වගේ මගේ පෙම  අදින් පසුව හුස්මද මගේ ණයයි හැම 
දිවි ඇතිතෙක්ම රකින්නෙමි සුදූ උඹව මම ” 
තමන් ද මාස නවයක් පුරා , මව් කුසක් තුළ වැටෙමින් හිද, මවට දරාගත නොහැකි වේදනාවන් දෙවමින් ඇයගේ යෝනි මාරගය තුළින් ලේ දහරවක් වගුරවමින් ලොව එළිය දකින්නට ඇතිබව සිහියට නැගෙනවිට තමන් නමින් පිළිසිදුණු කළලයකට ජීවය ලබාදුන් , තමන් නමින් උපන් ගැහැනිය වෙනුවෙන් පිරිමියෙකුගේ නෙත් යුග කදුළින් බරවීම අරුමයක් ද?
විවාහය යනු වන්දනීය චාරිකාවකි . ආදරයේ නාමයෙන් ඇරඹෙන ඒ ජීවන චාරිකාවට අතරමගින් එක්වන දරුවන් වෙනුවෙන් සුරක්ෂිත අනාගතයක් නිර්මාණය කිරීමට වෙහෙසවීම මාපිය දෙදෙනාගේම වගකීමකි, යුතුකමකි. 
පවුලේ ගෘහමූලිකයා ලෙසින් පියෙකුට ඒ වගකීමෙන් වැඩි කොටසක් පැවරී තිබේ . ඉතින් වෙනදාට වඩා වැඩි අවධානයකින්, කැපකිරීමකින් , වෙහෙසකින් සිය බිරිදත්, දරුවනුත් රැක බලා ගත යුතුය යන හැගීම මේ මොහොතේ දී පියාගේ සිතට නැගෙයි.
“මොලකැටි පුතුනේ හිස මත දිවුරුම් තියමි
ඔබ දෙදෙනාට පණමෙන් ආදරේ කරමි
කිසිවිට දුකක් කරදරයක් මා නොදෙමි 
සැමියෙකු, පියෙකු වී සෙනෙහස පුදා ඉමි”
අද පටන් වෙනදාටත් වඩා වැඩි ආදරයක්, සෙනෙහසක් දී මම ඔබ දෙදෙනා රැකගනිමි යනුවෙන් අලුතින් පිය පදවිය ලැබූ සැමියා නිහඩව පොරොන්දු වෙයි. ආදරය වදන් මාත්‍රයකට සීමා වන්නක් නොවේ . එය ක්‍රියාවෙන් ඔප්පු කර පෙන්විය යුතුය. කොටින්ම කිවහොත් නාම පදයක් නොව  ක්‍රියා පදයකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here