පුතු-පැටියට-නින්ද-ගිහින්

පුතු පැටියට නින්ද ගිහින් වගේ හොඳටම..
චූටි මුහුණ නොපෙනේ මට මෙහෙම හිටියම..
සෙල්ලම් කර හති වැටිලා වගේ හනිකම..
හැරුනෝතින් පුතු ඇහැරෙයි අනේ දැන්මම..

වැඩ ඇරිලා ගෙදර ආපු වෙලාවේ ඉඳලා..
හරි කෝළම් ඇවටිලි මට වඩන්න කියලා..
කිරි සිනහව දුටු මගේ ගත වෙහෙසද නිවිලා..
සතුටු සිතින් එන්නේ මගේ පුතුනව සොයලා..

නිවසම පුතුගේ සුවඳින් මෙතරම් පිරුණේ..
බලන බලන හැම අතකම පුතු රුව පෙනුනේ..
ආඩම්බර කමකින් හදවත හැඩ කෙරුණේ..
අපේ සිහින මාලිගාවේ රජු නුඹ පුතුනේ..

සෙල්ලමෙන්ම මහන්සි වී අද නම් ඔන්න..
මාව ඇඳක් ලෙස හිතලා දොයියන් ඉන්න..
අනේ අම්මි සුදු පුතාව දෝතින් ගන්න..
බන්ඩිය පුරවා සුවසේ නිදි කරවන්න..

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here