ඔබ කුසෙන් මා මෙලොව බිහිවූ දා පටන් පෙවු රන් කිරී..
ණය ගෙවන්නට කච්චියක් කිරි හේල කඩකට නම් බැරී..
උනන කඳුළැල් දෝරේ ගලනා හද පියන් දොරගුළු ඇරී..
සේනේ තුරුලින් ඉගිල යන්නට අම්මේ දෝණිට නෑ විරී..
පටලවන් සුළැඟිල්ල ඔබගේ දෑතේ එල්ලී ඇවිදපු..
හුරතලෙන් ඇකයේ හොවා සොඳ ගී ගයා මා නලවපු..
අකීකරු කම් කළත් යහමන් කියා දී හද සනසපු..
ඔබෙන් දුරකට යන්න වීමයි හේතු මා නෙත හඬවපු..
සවි කරන් හිත ඉන්න හැදුවත් අම්මේ රුව ඔබේ පෙනෙද්දී..
දිලිසෙනා නෙත් කොනින් නොකියු ඔබේ හැඟුමන් දකිද්දී ..
වසර ගණනක ඔබේ සෙනෙහේ තවම උණුහුම් කරද්දී ..
නවතින්න හිතුනා සිය දහස්වර ඔබ ආදරෙන් බලද්දී ..
නැවත හැකි ඉක්මනින් එන්නට මුනුබුරෙක් දෝතින් දරන්..
කිරි හේල රෙදි පොඩි හැඩ කරන් අත්තම්මා සේ ඉනු මග බලන් ..
කියා දුන් ඔවදන් මතින් ගොඩ නගමි ජීවිතේ සවි කරන්..
මාතු පාදන් කියා අම්මේ යන්නදෝ මා සමුඅරන් ..