මැකීගිය සෙවනැල්ල

” සැරයටියෙන් අපි යනෙන තුරා 
  සංසාරේ අපි එකට ඉමු   සංසාරෙන් අපි සමු ගන්නා දා 
 ඒ ගමනත් අපි එකට යමු “
ආදරය සංසාරික වන්දනාවකි.  ඉපදී එසැණින් මිය යන ආදරයක් නොව එකෙකු මිය ගියද නොමියන ආදරයක් ලබන්නට සංසාරය පුරාවටම රැස් කළ පින් තිබිය යුතුවේ.  ඉතින් ආදරය යනු දෙහදක උපදින උත්තරීතර හැගීමකි.
දෙඇස් එකිනෙක ගැටුණු පමණින් දෙහදක ආදරය දළු ලා වැඩෙන්නේ ආගම, ජාතිය, වයස, කුලය ආදී අවශේෂ සාධක කිසිවක් පිළිබඳ තැකීමක් නොකරමිනි. එවන් ආදරයක් මිය යන තෙක්ම සෙවනැල්ලක් සේ ළග රැදෙන්නේ නම් ජීවිතයට කුමන කරදර බාධක පැමිණිය ද ඒ දුක් කම්කටොළු වලින් කිසිදු බරක් ඔබට නොදැනෙණු ඇත. ජීවිතයේ බොහෝ සැතපුම් කණු පසුකරගෙන එද්දී අත්වැල් සැපයූ ඒ අත්වැට එක්වරම බිදී ගිය දිනක මුළු ලොවම අහිමි වූවාක් වැනි හැගීමක් සියොළඟ වෙලා ගනී.

අද දින ඇයට ද දැනෙන්නේ එවැනිම වේදනාවකි .
” දමා යන්නට ගිහින් රන්කද මහලු හාමිනේ තනිවෙලා
අනේ ඩිංගක් බලන්නත් බෑ තදින් ඇස් දෙක පියවිලා
මාත් කැටුවම යන්න තිබුණා ඒත් ඇයි ඉක්මන් වෙලා
මොකුත් නොකියම නිසොල්මන් වී ඉන්නේ කෙලෙසද ගොළුවෙලා”

  මෙතෙක් එකම මගක පියනැගි ආදර චාරිකාව නිමා කරමින් ජීවන විජිතයෙන් නික්ම යන්නට මේ සැමියාට සිදුවුයේ නොසිතන නොපතන මොහොතකය. අද පටන් ඇය වෙනදා නොවිදි පාළුවක් , කාන්සියක් , දරා ගනිමින් දිවියේ ඉතිරි ස්වල්ප කාලය ගෙවා දැමීමට සිත තද කරගත යුතුය. හැකියාවක් තිබුනේ නම් ඔහුත් සමගම මේ ගමන යන්නට ඇය දෙවරක් නොසිතාම එක්වන්නීය.

  ” මාත් කැටුවම යන්න තිබුණා ඒත් ඇයි ඉක්මන් වෙලා “

ආදරය පිරී ඉතිරී යන්නේ නම් කටුමැටි පැල්පත පවා රජදහනකි. පෙර දින තමන්  අසලින් නැගුණු සුසුම් හඩ දැන් නෑසී හොසිනි. වතුර පොද පවා ආදරයෙන් බෙදාගත් ජීවන සහකරු අද නිහඩවම වැතිරී සිටින්නේ තව මොහොතකින් හතර රියනක් යට සැගවී යන්නටය. ඉතින් ඒ වේදනාව තනිවම දරා ගනිමින් ඇය ඔහුගේ නිසල දේහය දෙස මෙලෙස බලා සිටියි.

” කොහොම ඉන්නද හෙට ඉදන් මේ පාලු කටුමැටි පැල්පතේ
කහට උගුරක් පවා නීරස වේවි හිටියත් හාමතේ
සුදු කොඩිත් ගොක්කොල තොරන් බැද සරසලා ඇති මාවතේ
සමුඅරන් ඔබ යාවී නිහඩව නිවුනා එළිවැට ජීවිතේ “

ඇය ඔහුත් සමග ජීවිතය ඇරඹුවේ ද හිසට උඩින් මල් සුපිපුණු සුන්දර මාවතක් දිගේය. එදින පෝරු මස්තකයේ අත පැන් වක්කර , අෂ්ඨක ගයා ලොවක් ඉදිරියේ ආසිරි පැතුම් මැද , දිවි ගමන අරඹන ලද්දේ හද පිරි සතුටු කදුළු වගුරවමිනි.අද ද  ඔහුගේ නික්මන වෙනුවෙන් සැකසුණු මාවත ද ගොක්වලින් සරසා තිබේ.   ස්වල්ප වේලාවකින් භික්ෂූන් වහන්සේලා මතක බණ දෙසනු ඇත.
ඉතින් එදවස හා අද දවස අතර බොහෝ සමානකම් තිබේ . නමුත් එදා මෙන් අද ඔහුගේ අතක එල්ලී  ඇයට ඔහු හා පා නගන්නට නොහැක . ආදරය ද සිත්තමකි , එය සප්ත වර්ණයන්ගෙන් වර්ණ ගැන්වී අද තෙක් සායම් දිය නොවී, පැහැබරව සුදිලුණි , ඒ සිත්තම අවර්ණ ගැන්වී යන්නට මාන බලන හැම මොහොතකම ඔහු තුළ ජීවත් වූ සිත්තරා  ආදරය, කරුණාව,සිනහව වැනි දීප්තිමත් වර්ණයන්ගෙන් දිවි මඩල වර්ණවත් කළේය.  එහෙත් අද දිවි මඩල වර්ණවත් කළ ඒ සිත්තරා නිසොල්මන්ව වැතිරී සිටියි.

” නිතර ලෙඩ වෙන මගේ දුක සැප හොයන්නට දැන් කෙනෙක් නෑ
තියෙන විදියට උයාදෙන බත රස බලන්නට එන්නේ නෑ
බල බලාවත් සුසුම්ලන්නට රාමු කළ පින්තූරේ නෑ
මගේ රන්කද මෙයින් මත්තට ඔයා ආයෙත් එන්නේ නෑ”

ඉතින් දිවි මගට වූ එකම පහන නිවී ගියෙන්  මේ පාලු ජීවිතයට දැන් කුමන් පිහිටක් ද ? 

” කුමට ඉන්නද ඔයා නැති මම යන්න ඇවිදින් එක්කරන්
හත් දොහක් ගත වෙන්න කලියෙන් මමත් එනවා සමු අරන් 
කොහේ හෝ මතු අත්භවේ ඉපදේවා අපි පින් අරන් 
ඉතින් නික්මී යන්න අවසර නැවත හමුවෙමු රත්තරන්”

ආදරයම ජීවිතය කරගත් හංස යුවලකින් එක් සත්ත්වයෙකු මිය ගියවිට අනෙකාද මියයන බව අප අසා ඇත්තෙමු. මේ ජීවන විලෙහි සැරිසරන්නට ඇයට හමුවූ හංස රාජයා ඇයව සදහටම හැර හොසිනි, ඉතින් මේ හංස ධේනුව ද නොබෝ දිනකින් ඔහු පසුපසම පිය නගනු ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here