ලෝකය ලස්සන වන්නේ පරිත්‍යාගශීලී මිනිසුන්ගෙනි. අතීත මිනිසුන් අනාගතය ගැන සිතා මතා කටයුතු කළ නිසා අද අප බොහෝ දේ සතුටින් පරිහරණය කරන්නෙමු. සොබාදහම පරිත්‍යාගශීලී නොවන්නට අද අපිට නිදහසේ ජීවිතය විදින්නට නොහැකිය.
මිහිතලය සිප ගන්නා හිරු කිරණ හෙට මහා වෘක්ෂයක්ව අතු පතර විහිදා ලොවට බොහෝ දේ තිළිණ කරන්නට බලා හිදින පුංචි පැළයකට වැඩෙන්නට අවශ්‍යය ශක්තිය ලබාදෙයි. පාවෙනා වළාකුළක රැදී හිදිමින් බිමට පතිතවන වැහි බින්දුවක් මිහිතලය මත ඇති ගස්වැල්, මලින් පුබුදන්නට උපකාරී වෙයි. සද පහන් රැයක පොළව සිඹින සද කැන් කුමුදු මල් පොහොට්ටුවකට මලක් සේ පිඹිදෙන්නට පාර කියා දෙයි. සුවද දස අත විහිදුවන , නා නා පැහැති මල් කුමරියන් තමන්ව සිප ගන්නා මී මැස්සන්ට, සමනල පැටවුන්ට මල් පැණි පුදන්නේ කිසිදු ලෝභකමකින් තොරවය.
මේ හැමතැනම ගැබි වී ඇත්තේ අසීමිත ආදරයයි. කිසිවක් පෙරළා නොඉල්ලා කෙනෙකුගේ සුවසෙත වෙනුවෙන් සිදු කරන පරිත්‍යාගයන්හි කතාවයි.
“සුපුන් සඳට පුලුවන් නම් කළුවර රෑ එළි කරන්න…
නෙළුම් මලට පුලුවන් නම් මඩ ගොහොරක පිපී ඉන්න…
හංසයාට පුලුවන් නම් කිරෙන් දියර වෙන් කරන්න…
යහපත් හිතකින් හැමදා ලෝකය වෙත නෙත් යොමන්න…”
මේ කිවිඳිය ද ලෝකයට ආදරය කරන්නියකි. ආදරය නම් තීන්ත කැවූ මනුෂත්වයේ පෑනින් නිර්මාණකරණයේ යෙදෙන ඇය ලෝකය වෙත ආදරය පුදන ලෙස මිනිසුන්ගෙන් කරුණාවෙන් ඉල්ලා සිටින්නීය.
කවිකාරයා ලෝකයට ආදරය පුදන්නෙකි, කවියන් පමණක් නොව රචකයා ද, නාට්‍ය නිර්මාණකරුවා ද, රංගන ශිල්පියා ද ලෝකයට ආදරය බෙදන්නෝය.
පෙරලා කිසිවක් බලාපොරොත්තු නොවෙමින් , කදුළු රැදුණු නෙතකට සිනහවත් , වේදනාවෙන් සුසුම්ලන හදකට පිළිසරණත් , සරණක් අවැසි දෑතකට නැගී සිටින්නට අත් වාරුවත් ලබා දෙන්නට හැකි නම් සැබෑ ආදරය හා මනුෂ්‍යත්වය රැදී ඇත්තේ එතනය.
එවන් මිනිස්සු ලෝකය වඩාත් ලස්සන කරන්නට , සුන්දර කරන්නට නිහඩවම ඇපකැප වෙති. ඒ වෙනුවෙන් බොහෝ දෑ වැය කළ යුතු නොවේ. ඔබගේ පුංචි සිනා පොදක් රිදුණු හදකට සැනසුම ළං කරනු ඇත. එක් කරුණාබර වදනක් ශෝකයේ අදුරු වළාකුළින් වැසුණු මුව මඩලකට සිනහවක් කැන්දනු ඇත . ඔබගේ අතින් සැකසුණු රසවත් බත් පාර්සලයක් කුස ගින්නේ සිටින්නෙකුගේ කුසගිනි නිවණු ඇත. පුංචි මුදලක් වැය කරමින් ඔබ මිල දී ගන්නා පොතක්, පැන්සලක් අපහසුවෙන් ඉගෙන ගන්නා දරුවෙකුට අගනා තිළිණයක් වනු ඇත.
” ලොකු ලොකු දේ අවැසි නොවෙයි සැනසුම හිත මත තියන්න
එක සිතුවිල්ලක් ඇති වෙයි දුක් ගින්නක් නිවාලන්න
හැමවිට හැමදෙන වෙනුවෙන් ආදරය බෙදා දෙන්න
සිනහව හුරු නැති සිතකට සිනහ වෙන්න කියා දෙන්න “
තමන්ට හිමි දෑ අරපරිස්සමෙන් පාවිච්චි කරන්නටත් , තමන් සතු දෙයකින් අන් කෙනෙකුගේ කදුළ නිවන්නටත් කුඩා කළ සිටම තම දරුවන්ට පුරුදු පුහුණු කරන්නට දෙමාපියන් සමත් නම් ඔවුන් වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම යහපත් දෙමව්පියන් ය. නමුත් මේ තරගකාරී ලෝකය තුළ එවන් සාරධර්ම දරුවන්ට කියා දී ඇත්තේ කීයෙන් කී දෙනෙකු පමණක් ද ?
මේ නිස්සාර ජීවිතය යම් දිනක ඔබට අහිමි වී යනු ඇත. ජීවත් වූවත් මිය ගියාවැනි වූවන් ජීවත්වන ලෝකයක, ඔබ විසින් ලෝකයට පුදන ආදරය , කරුණාව, මනුෂත්වය ඔබ මෙලොවින් සමුගත් දිනක පවා ඔබේ නම තුඩ තුඩ රැව් දෙන්නට , මිනිස් සිත් සතන් තුළ ඔබව ජීවත් කරවන්නට නිසැකවම ඉවහල් වනු ඇත.
සෑම ආගමකම නායකයන් කරුණාව, ආදරය, පරිත්‍යාගශීලීත්වය , නිහතමානීත්වය වැනි ගුණාංග නිරතුරුව අගය කර තිබේ. ලොව බොහෝ දෑ වලට මිලක් නියම කළ හැකිවූවද මනුෂ්‍යත්වයට මිලක් නියම කළ නොහැකිය. එවැනි හැගීම් අමිලය , එමෙන්ම නිර්මලය, පිවිතුරුය, පිරිසිදුය.
ජාති, ආගම්, කුලමල භේද මිනිසුන් විසින් නිර්මාණය කරගත් නොවටිනා සාධක පමණි. එවන් සාධක නිර්නායකයන් බවට පත් කරගනිමින් තවකෙකු පහත් කර සලකන, නොසලකා හරින, අතවර කරන, මිනිසුන් සිටිනා ලෝකයක සෑම මිනිසෙකු දෙසම මනුෂ්‍යයෙකු යන හැගීමෙන් නෙත් යොමන මිනිසුන් සිටින්නේ අතලොස්සකි. එවන් මිනිසුන් රුවින් කොතරම් අවලස්සන වුවද ඔවුන්ගේ හදවත සුන්දරය. මනුෂ්‍යත්වයෙන් අගතැන්පත්ය.
” උස්මිටිකම් සම සිතකින් ලොව දකින්න
දුකින් අදුරු වූ ලෝකය සැනෙන් සොදුරු කර දමන්න
මිනිසුන් ලෙස ලොව ඉපදී මිනිසුන් ලෙස මිය ඇදෙන්න
කරුණාවෙන් පමා නොවී මොහොතක් මේ ගැන හිතන්න”
ලොව ඇති සත්‍ය වටහාගත් මේ කිවිදිය අවසන මනුෂ්‍යත්වයේ නාමයෙන් කරන ඉල්ලීම ද එයයි. ඔබද එවන් මනුෂ්‍යත්වයෙන් පිරි පුද්ගලයෙකු ලෙස ජීවිතය සකස් කරගත අයෙක් නම් ලෝ දහම ඔබව නිරන්තරයෙන්ම සුරකිනු ඇත. දිනක ඔබට සියල්ල අහිමි වී ගියද ඔබ විසින් අන්‍යයන්ට දැක්වූ කරුණාවට , ආදරයට හිමි තිළිණය ඔබට සොභාදහම තිළිණ කරනු ඇත.