මිනිසෙකුට තමා සතු මිලමුදල් වැය කර නිවසක් තැනිය හැකිමුත් එය වාසයට සුදුසු පරිදි නිවහනක් බවට පරිවර්තනය කළ හැක්කේ ගැහැනියකට මිසාන් කවරෙකුට ද?
ගැහැනියක් ඇයට ලැබෙන සෑම දෙයකටම හිමි සත්‍ය වටිනාකම ලබා දෙන්නීය. ඔබ ඇයට අවශ්‍ය කලමනා ලබාදුන් විට ඇය රසවත් භෝජනයක් ඔබට පිරිනමන්නීය. ඔබ ඇයට ගොඩනැගිල්ලක් දුන්විට ඇය එය නිවසක් බවට පත් කරන්නීය. ඔබ ඇයට ශුකාණුවක් ලබා දුන් විට ඇය ඔබට දරුවෙකු තිළිණ කරන්නීය. ඔබ ඇයට සෙනෙහස බිදක් තිළිණ කළ විට ඇය ඔබට ඇයගේ ජීවිතයම පුදකර සිටින්නීය. මවක, මිතුරියක,සොයුරියක, බිරිදක ලෙසින් ගැහැනිය මුළු ලොවම සුවපත් කරන්නීය.
“ලොවක් බිහිකළ උතුම් දෙවගන නමින් මල් පාවඩ එලා
සොයුරියකි මිතුරියකි ඇය දෙස බලන් පිවිතුරු නෙත් හෙලා
තම පුතුට ජීවය තැනූ සෙනෙහසින් බිරිඳක් නම් වෙලා
ඉතින් ගෞරව පුදකරනු මැන ළදට පහනක් වෙලා”
ලොවට ජීවය පුදන ඇය තමන් ගැන නොසිතා අනුන් වෙනුවෙන් කටයුතු කරන්නේ එය සිය ජීවිතයේ පළමු කාර්‍යය බවට පත් කරගනිමිනි .
හින්දු දර්ශනයට අනුව ලොවඇති සෑම ශක්තියක්ම කාන්තාවගෙන් උපදින බව පෙන්වා දෙනු ලබයි . සරස්වතිය ද කාන්තාවකි. දුර්ගා මෑණියන් ද කාලි මෑණියන් ද කාන්තාවන් වේ. සංකල්පනාතමකව ඉන් කියවෙන්නේ කාන්තාවක සතු ලාලිත්‍ය , චිත්ත ශක්තිය හා නපුරක් දුටු වනම ඊට එරෙහිව ක්‍රියාත්මක වීමේ ස්භාවයයි.
නමුත් මෙලෙසින් ගැහැනියට හිමිවන ගරුත්වය , ආදරය පත පොතට , සිනමා පටයකට, ගීතයකට පමණක් සීමා වුවක් ද යන්න ප්‍රශ්න කළ යුත්තේ දිනෙන් දින කාන්තාව විවිධ අතවරයන්ට , හිංසාවන්ට ලක්වන හෙයිනි .
“උපන් දෙවොලට නිගා නොකරන් මිනිසුනේ කිසිවිටකදී
ලොවේ සියුමැලි ළදුන් නැත්නම් නොවේ හුස්මක් ළග රැදී
බුදුන් පුදනා ලෙසට සම නම් මව් ගුණය පණමෙන් බැදී
ආදරෙන් රැක ගන්න මහතුනි කිසිවිටක අතවර නොදී”
කොතරම් කාන්තා අයිතිවාසිකම් ගැන කතා කළද , ස්ත්‍රී – පුරුෂ සමානාත්මතාව පිළිබඳ කතා කළද බොහෝවිට කාන්තාව කායික මානසික හිංසනයට ලක් වන්නේ තමන් ආදරය කරන සමීපතමයන් අතිනි . ඒ සමීපතමයා බොහෝ දුරට ඇයගේ ආදරය සෙනෙහස නොඅඩුව ලබන සැමියා හෝ පෙම්වතා වීම බොහෝ සෙයින් අභාග්‍යසම්පන්න කරුණකි.
කාන්තාවට හිමිවිය යුතු සමාජ රැකවරණය නිසි අයුරින් හිමිවුයේ නම් අපට අපේ රටේ සේයා ගැන , විද්‍යා ගැන ඉන්දියාවේ නිරභයා ගැන , ඇසිඩ් ප්‍රහාරයකට ලක්වූ මාලතී ගැන , මෑතක දී සමූහ දූෂණයකට ලක්වී ඝාතනය වූ ප්‍රියංකා රෙඩ්ඩි ගැන අසන්නට සිදුවේද?
ගැහැනියක් වූ පවට ඇයට මහමග කාර්‍යාලය , දුම් රිය , බස් රථය තුළ දී මෙන්ම සිය නිවසේදී ද විදවන්නට සිදුවේ .එය අප ජීවත්වන ශ්‍රී ලංකාව වැනි තෙවෙනි ලෝකයේ රටක සමාජය තුළ වඩාත් හොදින් කැපී පෙනෙන්නකි.
“ලොව එක ලෙස වෙන් කෙරුවත් සමරන්නට ළදුන්ගේ දිනේ
සැමදාකම පුදනු හැකි නම් එය යුතුකම මිනිසුනේ
වදනකින්වත් පවක් නොකරන් ඇය දෙවියන් සමවුනේ
නපුරු නොමවන් ආදරයෙන් නිති සුරකින්න ළලනා ගුණේ”
එවන් සමාජයක් තුළ කාන්තාවකට ස්වාධීනවන්නට ඇති සියළු මං අසුරන්නටත් , සියලු වැරදි ඇය පිට පටවා අත පිසදා ගන්නටත් මාන බලන පිරිස බොහෝය.
එවන් ලොවක් තුළ දින 365 න් එක් දිනක් පමණක් ඇය වෙත වෙන් කර ඇයට බුහුමන් පුදනාමුත් මුළු ජීවිත කාලයම ඇයගේ සෙනෙහසින් දිවි ගෙවන්නන්ට ඇය වෙනුවෙන් ආදරණීය වදනක් පුදන්නටවත් කාලයක් , සිතුවිල්ලක් නොමැතිවීම පුදුමයට කරුණක් නොවේද?
ඇය බිරිදක , ගෘහනියක ,මවක ලෙසින් කුදු.මහත් කටයුතු ඉටු කරනු ලබන්නේ සිය කායික , මානසික වේදනාවන් සියල්ල දැඩි සිතුවිල්ලකින් යටපත් කර ගනිමිනි.
එවන් කැප කිරීමක් සිදු කරන ඇයට බොහෝවිට සිය පවුල් කුටුම්භය තුළ දී ආදරණීය ස්වාමියාගේ වාග් ප්‍රහාරයන්ට මුහුණ පෑමට සිදුවේ. ඒ තමුන් විසින් අත්විදින ආතතිය, පීඩනය , සිය බිරිදගේ පිටින් යැවීමට ගනු ලබන උත්සහයේ ප්‍රතිඵලයක් වශයෙනි . ඉතින් ඇයට අන් කවරෙකුටවත් වඩා ආදරය , ගරුත්වය , රැකවරණය අවශ්‍යය නොවන්නේ ද ?
” මව් කිරෙන් ජීවය උරා හැඩි දැඩි උනානම් මතකයේ
තියාගනු මැන කතට හිමි තැන මියෙනතුරු ඔබ චිතකයේ
මෙතෙක් නොසිතා සිටිය නම් ඔබ සිතන්නට තව කල් තිබේ.
උත්තරීතර කතුන් නමටම කවි මලක් පිපුණා ළයේ “
ලොව සියළු මායාවන් පරදන විස්මිත නිමවුම්කරුවා අන් කිසිවෙකුත් නොව ගැහැනියයි .සිරුර පුරා රත් පැහැයෙන් දුවන රතු රුධිරය ශ්වේත වර්ණ මව්කිරි බවට හැරවිය හැක්කේ මවකට හැර අන්කවරෙකුට ද? උපන් දා සිට ඇය ලෝකය ලස්සන කරන්නටත් , ලෝකයට ජීවය පුදන්නටත් ඉටු කරන මෙහෙය අපමණය.
නමුත් අන්අයගේ ජීවිත ලස්සන කරන්නට , ආලෝකමත් කරන්නට වෙර දරන ඇයගේ ජීවිතය බැබලිය යුතුයැයි සිතන පිරිමින් ලොව සිටින්නේ අතලොස්සක් නොවේද ?