ලොකු සාදු වැඩි නිසා ඈත දුර දන් ගෙදර..
පන්සලම පාලුයි ලු පිරිවනත් නෑ විවර..
අමදලා මුළු මිදුල වැඩ ටිකක් ඒ අතර..
ගනිමු අපි අවසරක් මෙහෙම බෑනේ නිතර..
වෙල් යාය මායිමේ සුදට දිලෙනා සෑය..
විලේ පිපි මල් වලින් පුදන්නට සිත කීය..
සිවුරු පොඩි උරදරන් පීනන්න නම් බෑය..
දඟ කලොත් අපි එහෙම හුඟක් පව් සිදු වේය..
සිහිලැල්වු පුද බිමේ හමන සුළගක් පවා..
ලොකු සාදුගේ හඬින් කතා බස් කරනවා..
අපි තාම පොඩි නිසා සෙල්ලමක් කරනවා..
කමාකර අපි දිහා බුදුසාදු බලනවා..
හුරතලෙන් දුව පැන්න කාලේ අවසන් වෙලා..
අම්මා ළඟ දැවටෙන්න අනේ දැන් බැරි වෙලා..
හිසත් මුඩුකර ඇඟට කහ සිවුරු පොරවලා..
සසර කතරෙන් එතෙර යමු දිනක එක්වෙලා..