වැරදි වැරදී කුරුටු ගානා බිඳුණු අත් අකුරූ..
පැටලි පැටලී මතකේ රැඳුණත් පුතේ මට නුහුරූ..
උපන් ගෙයි මළ හින්දා පෙර පින් සිප්සතර ඇහිරූ..
උඹයි මාගේ දැනුම් හෝඩියේ පළමුවෙනි ඇදුරූ..
දන්න තරමින් කියාදෙන විට සැරවැරත් කරලා..
නුඹට කීකරු වෙලා ළන්වෙමි සෙනෙහසින් පිරිලා..
හිසට සෙවණක් අහිමි මුත් සුභ හෙටක් ගැන හිතලා..
නුඹට යහමඟ හුරු කරන්නම් පුතේ දුක් විඳලා..
හීනෙකින්වත් මා නොගිය ඒ පාසැලේ සෙවණේ..
උඹේ දස්කම් නෙතින් විඳිමින් හිතේ මල් පිපුණේ..
අනේ ඉහළයි නිමක් නෑ රන්කඳේ උඹේ වරුණේ..
දිනක කඳුළින් ලොව දිනාපන් මගේ සුදු පුතුනේ ..