ලොව පරිත්‍යාග අතුරින් උතුම්ම පරිත්‍යාගය වන්නේ අනේක දුක් දරා මවක සිය කුසින් තවත් ජීවියෙකුකට ජීවය දීමයි. මවක වන්නේ එදවස වත්සුණු, සුවද දිය ඇග ගල්වා සිටි සුන්දර යුවතියකි. එහෙත් ඇය සිය කුසට පැමිණි අමුත්තා වෙනුවෙන් සිය සියළු ජීවන අපේක්ෂාවන් වෙනස් කරන්නට දෙවරක් නොසිතුවාය.
මේ කිරි කැටියාගේ පැමිණීම සුභ සිහිනයක් සඵල වීමකි. නව හැගීම් පුබුදු කරවන අලුත් බලාපොරොත්තුවකි. ඉතින් ඒ ලේ කැටිය මෙලොව එළිය දැක පළමු වරට හුස්ම පිටකරන තෙක් ඇයට ඉවසුමක් නැත.
” ආදර කළලයේ දොරගුලු හරින්නට
හීගඩු පිපෙන නුහුරට සමවදින්නට
නව මස් හීනයක් හුස්මක් කරන්නට
ඉඩ දී හිදිමි පුතු පැටියට පිපෙන්නට”
පෙරුම් පුරා බොහෝ දුක් කම්කටොළුවලට මුහුණ දීමෙන් අනතුරුව දෙදෙනෙකු එක වහලක් යටට යන්නේ දහසක් බලාපොරොත්තු මැදිනි. ඒ බලාපොරොත්තු රැස උඩින්ම ඔවුන් ලියාගෙන ඇත්තේ සිය නිවසට කිරි කැටියෙක් කැන්දාගෙන එන සිහිනයයි. ඉතින් ඒ සිහිනයෙන් වැඩි බරක් දරන්නට වන්නේ ගැහැනියටයි . මවක වන්නට පෙරුම් පුරන දා සිටම ඇයට අත්විදින්නට වන දහසක් කරදර ,දුක්, වේදනා හා රිදුම් ඇය විද දරා ගන්නේ මහත් ආසාවෙනි. ඒ වේදනාවන් සියල්ලගේම උච්චතම අවස්ථාව වන්නේ කිරි කැටියා මෙලොව එළිය දකින මොහොතයි .
“ඇතිවී නැතුව යන එන රිදුමන් අතරේ
සිහියක් පවා නැති වෙන ගැස්මකි උදරේ
ඉහිරී ගලායන විට ගැබ රැදි වතුරේ
මෙතුවක් දරාවුන් කදුළින් නෙත පිපිරේ”
ඒ වේදනාව කොතරම් බලවත් වුවද ගැහැනියක් එය සතුටින් දරා ගන්නේ සිය ආදරයට නැවත උපතක් ලබා දෙමිනි. සියළු වෙර යොදමින් කිරි කැටියාට උපත ලබා දෙන්නට වෙර දරන මවටඇතැම් විටක ඒ වේදනාව පමණක් නොව එන්නත් කටුවල , සැත්කම් පිහිවල වේදනාව ද දරා ගන්නට සිදු වේ.
” කකියන දෙපා කණු අතරේ රදන්නේ
ඇදවුණු කොන්ද පිට හා වද දෙවන්නේ
සියුම් තුටින් එන්නත් විද කපන්නේ
පුතුනට එන්න පාරයි මේ හදන්නේ “
මිනිස් අස්ථියක් බිදුණු විට ඉන් නැගෙන වේදනාව මුළු දිවියම එපා කරවන්නක් බව ඒ අත්දැකීමට මුහුණු දුන් අය නොසගවා හෙළි කරන කතාවකි. මවක් දරුවෙකු බිහි කරනවිට සියොළග අස්ථි සියල්ල බිදී ගියවිට දැනෙනා තරම් වේදනාවක් දරන්නටවන බව කියවේ.
“ඉහළ පහළ යන හුස්මට වෙරදීලා
තෙරපමි කෙදිරිගාමින් තව බර දීලා
සිරුරේ සියළු අස්ථි එකවර බිදිලා
නෑ මින් පෙර මෙවන් රිදුමක් විදලා”
මෙවැනි වේදනාවක් වුව සතුටු සිතින් විද දරාගෙන ලොවට ජීවය පුදන ගැහැනියට පතිනි මව, සරස්වතිය ,කාලි මෑණියන් ලෙසින් දේවත්වයක් ආරෑඨ කර පුද පූජාවන්ට, වන්දනාවට පාත්‍ර කරනු ලබයි. ඉතින් එහි කුමන වරදක් ද ලොවට ජීවය පුදන්නිය ගැහැනියම නොවෙද ?
තමන් කුමන වේදනාවක් වින්දද ඉන් බිදක්වත් සිය දරුවන්ට ලබා නොදෙන්නට මවක ප්‍රවේශම් වන්නේ ඇයගේ මුළු ලෝකයම දරුවන් පමණක් වන බැවිනි .
” එක එක ඉරි ලේ මස් කැදලි කැඩී
පුතු හිස පොවන්නට දරනා වෙහෙස වැඩි
රිදුමක් නොදී කිසිවිට මගෙ පුතුට පොඩී
ඉවසා ලිහිල් කරන්නෙමි හිත නොකර දැඩී”
ඉතින් ගෙදර බුදුන් ඇයම නොවන්නේ ද?
මෙහිදී කිරි කැටියෙකුට උපත ලබාදීම තවත් එක් කාර්යයක් නොව එය ජීවිතයත් මරණයත් අතර සටනක් බව කිවිදිය හරි අපූරුවට ප්‍රකාශ කරන්නීය.
” රතු ලේ ගගක් නොනවත්වා ගලන්නේ
සිහියක් නොවේ දෑසම ඉකි ගසන්නේ
හිස උරහිසත් සිව් බිද දමන්නේ
හඩමින් කෑ ගසා පුතු ලොව වඩින්නේ”
” සිරීපාදේ වන්දවන්න හිස උලියල් බැදලා
සිරි මා බෝ සාමිනි මට පිරිමි පුතෙක් නැතුවා”
මවකට පුතෙක් කියන්නේම රජෙක්. එමෙන්ම පුතෙක් වුවත් , දුවෙක් වුවත් මවකට දරුවෙකු තරම් අගනා මැණිකක් මිහිපිට නැත.
ඉතින් මෙලොව එළිය දුටු කිරි කැටියා දුටුවනම මවකට තමන් නව මසක් පුරා විදි අනේක විද වේදනාවන් සියල්ල අමතකව ගොස් හද උතුරා යන සතුටු සුසුම් නැගීම අරුමයක් ද?
” සයුරේ කිමිද සිටි කිදුරෙක් විලාසේ
පුංචි ඇගේ ලේ කැටි රැළි වළාසේ
පෙකෙනි වැලෙන් සිද පපුතුර පලාසේ
වැතිර නිවාගනු පුතු කිරි පිපාසේ “
තමන්ගේ පපුතුරේ උණුසුමට ගුලි වී පුංචි මුවින් කිරි උරාබොන පුංචි පුතු මවකගේ මුවට ගෙන දෙන්නේ කිසි දිනක නොමැකී යන සුන්දර සිනහවකි.
දරු ප්‍රසූතියෙන් පසුවද මවක් විදින වේදනා අවසන් වන්නේ නැත .
” නිමා නොවන ඉහිලුම් ගත ගිනි නිවන
ඇරුණු දොර පියන් මැහුමින් තද කරන
සැනසුම් සුසුම් වා තලයට මුසු කරන
උතුම් මවට පලදමි මේ කවි හරණ ”
මේ තරම් වේදනාවක් දරමින් දරුවෙකු ලොවට බිහි කරන , ලොවට ජීවය ජනිත කරවන ජනනිය සැබවින්ම කුසුමක් නොවන්නේ ද ?