සිනිඳු සියුමැලි පුළුන් රොදකට ළමැද තුරුලේ සුවදෙමි..
පුතුගේ සුවඳින් නිවී සැනහෙන සතුට හිතමත රඳවමි..
මෙතෙක් පැතු පෙරුමන් පුරා මවු පදවි අබිසෙස් ලැබුවෙමි..
බදා දෝතින් මගේ රන්කැටි පුතේ නුඹේ මුව සිපගමි..
නිතර වෑහෙන කිරි රුහිරු මගේ සෙනෙහේ පවසනවා පුතේ..
පුoචි මුවඟින් උරා බොන විට දැනෙන ආදරේ නිම් නැතේ..
ඇඟිලි තුඩඟින් තදින් අල්ලා දිලිසෙනා බැල්මන් නෙතේ..
කියන හුරතල් රස කතාවක් ලියනවා අම්මගේ හිතේ..
රැයද දහවල ගෙවෙන තප්පර දැන් නිනව්වක් නොදැනෙනා..
පුoචි කෙඳිරිලි හඬක් ඇහුනත් නිදිගැහට හැර පිබිදෙනා..
හෝද හෝදා හැඩට අන්දන රෙදිපිළිත් යළි ගොඩවෙනා..
මෙයයි සුන්දර මතක පුතුනේ අම්මගේ ලොව පුරවනා..
යාළු මිතුරන් හොයනවා ඇති නිතර හිටි මිතුරිය ළඟින්..
පුතුගේ යුතුකම් කරන මා හට නෑ ඉඩක් දැන් පෙර ලෙසින්..
සියලු සන්තක දේ හොරාගත් මගේ පණ දැන් නුඹ ඉතින්..
සියලු සතුටම කැපකරන්නම් පුතේ මොළකැටි නුඹ නමින්..