සීරුවට ඇද වැටෙන හීන් හිරි පොද වැස්සේ ..
තෙමෙන්නට හිත කියයි බොහෝ කලකට පස්සේ ..
හීනයට ඇවිත් යළි හාදු දෙන රෑ තිස්සේ..
උණුහුමට තනි රකියි නුඹ තාම හිත අස්සේ..
මිහිරි තනුවක් ලෙසට සීත වැහි බිදු වැටී..
මේ තරම් ළන් ළන්ව තුරුලේ වෙලෙනා හැටී..
ඔබේ සෙනෙහේ නාමයෙන් පාට වෙන ලේ කැටී..
ළඟ නැතත් ළඟ තියපු සුවඳ අදටත් වටී..
හමන සිහිලැල් පවන් ගතේ හී ගඩු මවයි..
මැවෙන සිතුවිලි මතින් තුරුල් වෙන්නම හදයි..
ගෙවෙන හැම මොහොතකම මතකයට නුඹ ළඟයි..
ඒත් නෙතු අද්දරට නුඹේ රුව බෝ දුරයි..
නොතේරෙන පාලුවක් හිත පුරා පැටලිලා ..
නොදැනීම කඳුළු කැට පිරෙයි ඔබ සිහිවෙලා..
කවුරුවත් නෑ මෙහෙම ඔබ තරම් ළන්වෙලා..
දිනක මුණගැහෙන තුරු ඉදිමි මම මගබලා..