සුන්ව ගිය පැතුමන් මතින් කිරි සුවඳ තාමත් මට දැනේ..
සමාවුව මැන පුතුනි අම්මට නැහැ පිරුනේ කිරි වම් තනේ..
ණයට හිමි මා ජීවිතේ උඹ නමින් තාමත් සවි උනේ..
කුස පිරෙන කල් උරා බීපන් පුතුනේ උඹටයි මගේ සෙනේ..

කඳුළු  අතරින් උබේ සිනා මුව බලා මා හිත සනසමි..
මියෙන් තුරු උඹ දිවි රකින්නට පුතුනි හැකිලෙස කැපවෙමි..
පිනක් නොවුනත් දැඩි කරන්නට මියැදුනත් මා ළඟ ඉමි..
අම්මා ළඟ නැති දිනක පුතුනට දුකක් නොවනට පතනෙමි..

දුබල වත මත පුතුව සතපා උණුහුමින් තුරුලට අරන්..
හැඬුම් ආවත් සිනාසෙන්නම් පුතුගේ මොළකැටි මුව බලන්..
ලෙඩ වුවත් මා ගත මෙලෙස කිරි උරා බීපන් රත්තරන්..
මගේ හුස්මත් වටින්නෑ මට පුතුනේ උඹේ හුස්මක්තරන්..

ලොකුවෙලා උඹ දිනක හිතුවොත් කොහෙද උඹේ අම්මා කියා..
අහස් තලයට නෙත් යොමාපන් තරු රකියි මා ළඟ තියා..
ආදරේ වෙනසක් නොවී පුතු ළඟ හිඳී සෙවනැලි නියා..
මතු සසරෙදිත් පතා එන්නම් මගේ පුතුනම සොය සොයා..

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here