හෙමින් හෙමින් අඩි තිය තිය එන කොට ළඟට..
වලිගේ වනා හරි සතුටින් නටනවා ජයට ..
බෑ නොකියා හැමදා බඩ පුරවන කිරට..
පිං අත්වෙයි ගොඩාරියක් වයිරෝ නුඹට..

ගාල් වෙලා පිදුරු ගොඩේ පාලුද ඉන්න..
මදිවද තණකොළ මිටියක් බඩ පිරවෙන්න..
ඉඳලා  හිටලා හරි එන්නම් බලලා යන්න..
එපා ඉතින් ඇස් කොනකට කඳුළක් ගන්න..

උම්බෑ හඬ ඇහුනා මට අදත් උදයෙම..
වහු පැටියා කොහේ ගිහින්ද ආයේ තනියම..
බබා ඇවිත් ගියා කියලා ඔයා කියුවම..
දුක හිතිලා තරහා වේවි එයා හොඳටම..

හවස් වෙලා දැන් පාරට කලුවර වැටිලා ..
යන්නද මම ගෙදර අම්මා ඇති මා හොයලා..
තව දවසක එන්නම් කෝ යන්නට බලලා..
එතකල් මඟ බලනු හාදු මතකෙන් තියලා..

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here