පියඹා යන්න සැරසී තුරුලින් ඉගිලී..
වාරු නොමැති සිතුවිලි දහසක් පැටලී..
දෝරේ ගලන කඳුළින් දෙනුවන් ඇවිලී..
දීගෙක යන්න යනවා මගේ දූ කොමලී..
උපන් දොහේ සිට මැණිකක් ලෙසින් හැදූ..
ලේ කිරි බිඳෙන් බිඳ පොවලා කුසින් වැදූ..
දනිමි දිනක මෙය සිදුවෙන දෙයකි පොදූ..
ඒත් කොහොම ඉවසන්නද නැතුව සුදූ..
අදරින් අනා කවනා බත් කට දෙකට..
උදයේ අවදිවන විට බොන තේ රහට..
මැදලා දෙන්න ඇඳුමක් හෝදා නුඹට..
අම්මා නැතුව කවුරුද ඉන්නේ දුවට..
හිමිසඳ එක්ක නික්මෙනු අතැඟිලි බන්දා..
පොඩි පොඩි දේ උනොත් නාඬන් හිත රිද්දා..
අම්මා මෙන්ම රැකගනු සෙනෙහෙන් නැන්දා..
සතුටින් හිඳිනු මැන මගේ පණ නුඹ හින්දා ..