ඇකයේ හොවා තුරුලේ උණුහුම් කරලා..
හැදුවා පුතෙක් කොයිබද අද දුර ඇදිලා..
මහලු නිවාසෙක ඇත අප තනිකරලා..
හුස්ම මියෙන තුරු ඉන්නේ දින ගැනලා..
කෑවත් නොකෑවත් උඹේ කුස පුරවාලා..
හිටපු දවස් එමටයි බඩගිනි උහුලා..
කෑම කටක් දෙන්නත් නෑ උඹ බැඳිලා..
මහත්තයෝ උඹටත් ඇති වැඩ පිරිලා..
සල්ලි පිරුණු ඇත්තන් විත් දන් බෙදන..
උන් අතරේ ඇස් යවමින් නිති සොයන..
උඹත් ඇවිත් යනවා ඇති ඒ ලෙසින..
පෙනුම අඩුයි මග ඇරුනද උඹේ දසුන..
අතක් පයක් නොකඩා පුතුනේ උඹව..
ජීවත් කලේ ආදරයක් හිත ඇතුව..
උඹට ජයක් වේවා යැයි නිති පැතුව..
අපි තනිවෙලා පාලුයි අද උඹ නැතුව..
පුතේ උඹට අපි දොස් පවසන්නේ නෑ..
මහලු කමට හදවත වාවන්නේ නෑ..
උඹට දැනුනා නම් අපි මෙහෙ එන්නේ නෑ..
හෙට දැනුනත් අද උඹ එය දන්නේ නෑ..
ආසයි උඹව පේනා මානෙක ඉන්න..
සැපක් එපා එලිපත්තෙන් ඉඩ දෙන්න..
හුස්ම ගියොත් එදිනට අප වලලන්න..
අපි නෑ කියා කිසි දිනයක නොහඬන්න..