වටිනා මිනිස් දිවියක් ලැබ ලොවට එනා..
පින් පව් මිසක කිසිවක් නෑ ළඟ රැදෙනා..
උස් මිටි කම්ද කුල මල ඉහළින් පුදනා..
කවුරුන් උනත් දිනයක් එයි මියඇදෙනා..
තමන් උසස් යැයි හිතනා බොහෝ දෙනා..
අනුන් වෙතම නපුරු හිතින් හිනාවෙනා..
නොසොයා ඇත්ත තව කෙනෙකුට ගතු කියනා..
පව් පුරවා පිරිහෙයි උන්වත් නොදැනා..
ලොවට පෙනෙන සත් ගුණවත් අහිංසක..
මුහුණු මතින් කරවයි හිත් මුලාවක..
ජීවිත සමඟ කළ සෙල්ලම් කලාවක..
පලදී නිමාවෙයි කර්මය වෙලාවක..
ජීවෙතේ ගෙවන කෙටි කාලේ හොඳින් හිතා..
තම දියුණුව හා අනුනගේ සතුට පතා..
හිටියොත් බෙදා ගුණ යහපත් කමින් ඉතා..
මිනිසා වේවි හඳුනා ගත හැකිම සතා..