සෙල්ලමට හුරු හිතට තව හුරු නැති නිසා දෝ චීවරේ..
නිතර හීනෙන් හොයනවා දෝ අම්මගෙන් ලද ආදරේ ..
නාඬා ඉනුමැන පුoචි රාහුල අඳුරේ ඉඳිමින් කාමරේ..
කියා දෙන්නම් අරුත නිර්මල බුදුහිමිගේ ගුණ සාගරේ..
පාලි අභිදම් ගාතා බණපද බිඳෙන් බිඳ හුරු වෙයි හැම..
හිත නිවී සුවපත් කෙරෙයි නිති ඇමදුවොත් පන්සල් බිම..
බුදු පුතෙක් ලෙස හතර වරිගෙම පිo පිරෙයි සිල් රැක්කම..
ඉතින් කුමකට කඳුළු වැල් අමුනන්නේ මේ හැටි පොඩි නම..
ගෙදර වාගේ පහසුවට දුව පැන්න හැටි සිහිවෙනවද..
අම්මා අනලා රසට කැවු බත් පතක මතකය මැවුනද..
කමිස කලිසම් ඇදපු හැටියට පහසු නැතිවූනේ සිවුරද..
මහණ වූ දා කියා දුන් කමටහන් හොඳ හැටි මතකද..
ලබන පෝදා ගෙදර ඇත්තොත් ඒවි පන්සල් මලුවට..
කියා දෙන්නකෝ දන්න තරමින් බණ ටිකක් ඒ පිරිසට..
ආයේ මේ වගේ දුකක් දැනුනොත් ගිහින් බුදුගේ ඇතුලට..
බලනු බුදුහිමිගේ දෙනෙත් දෙස හිත නිවෙයි කරුණාවට..