තොර කලාදෝ දිවිය මාගේ දුකක් හිත නැති මිනිසුනේ..
මැන බලාදෝ කාසි වල බර පාපයට හිත නතුවුනේ..
වැඩුණු දළ සිඳ සෙවූ ගජමුතු මිලට මේ හැටි ලොල්වුනේ..
මියෙන දිනයක රැගෙන යන්නද කියා නොදනී දෙවියනේ ..
දුකින් වෙලිලා තියේ සැමදා වනයේ තුරුගොමු වැල් පවා..
මිහිකතත් බෝ හැඬුම් ලාවි සොවින් කම්පා වී දවා..
කරපු පවු කම් නිමා නොමවේ බව ගනන් රිදවුම් දෙවා..
සැනසුමක් සතුටක් නොවේවි පලදෙවයි කළ කම් ගෙවා..
වේදනා දී හුස්ම තොර කර කැබලි කර මිහිදන් කෙරූ..
අසරණයි නික්මුණු විලාපය බලා හිටියද සද තරූ..
දළ ඇතෙක් වී ලැබුණු බුහුමන් ලක්මවුනි ඉහළයි ගරූ..
එයම නපුරක් වෙලා මට මා නැතිකළා වන වැදි හොරූ..
අන්ද නෙතකට මුවා වූ වෙඩි උන්ඩ පිරවූ ගිණිබටේ..
මිදී බේරි යන්න තරමින් සවිය නොතිබුණි මා වටේ..
කඳුළු පිරි සෝ සුසුම් යහමින් මියැදුනත් හඬගා වැටේ..
මහතුනේ සුරැකුම් කළා නම් මාත් ඉන්නවා මේ රටේ..