රිදුම් දෙන වේදනා මෙතෙකැයි කියා ගන්නත් බෑ හඬා.
දහස් වර මැරී මැරී උපදී වැටෙනවා සිහියත් කඩා..
නැතේ වටිනා දෙයක් සන්තක රත්තරන් පුතුනට වඩා..
මගේ හුස්මත් කුමට පුතුනේ දැනේ දැන්නම් බෝ විඩා..
තාම කිරි කැටි පුතේ මොනවා දන්නවද ඔය වයසට..
ගැහෙන අතපය බිඳෙන කෙඳිරිය බය ගෙනේ මගේ පපුවට..
නොදැන අපි පව් කළාවත් දෝ උඹ දුකින් මේ තරමට..
අනේ මගේ පණ අරන් ජීවය දෙන්න දෙවියනි පැටියට..
නුඹේ මොළකැටි පුoචි අත් පොඩි සිදුරු වීලා කටු ඇනී..
නිසොල්මන් වී හිඳින පුතු දැක නෙතු පියන් මා ගිණි ගනී..
ඉවස ඉවසා දරාගෙන හුන් සිහිය වැලපෙයි දුක දැනී..
මගේ පුතේ වෙනදටත් වැඩියෙන් දැනෙනවා මට අද තනී..
අහස උසකට පැතුම් තිබුනා නුඹේ නාමෙන් මගේ හිතේ..
බිඳි බිඳී මා සිහින මැකුනා සිනාසෙන්නට වෙර නැතේ..
බුදුන් දෙවියන් පිහිට සුරැකිව සුවය අරගෙන නුඹ ගතේ..
තාත්තේ කියනා තුරා මා බලා ඉන්නම් සුදු පුතේ..