ජීවිතය රිසිසේ රස විදින්නට අප කැමති වුවත් එය වර්ණ ගැන්වී ඇත්තේ පැහැබර වර්ණයන්ගෙන් පමණක්ම නොවන නිසා නොසිතන නොපතන මොහොතක අදුරු වළාකුළුවලින් ජීවන අහස්තලය වැසී යන්නේ එතෙක් අප ලැබූ සැනසිල්ල නිමාවට පත් කරමිනි.
යන්ත්‍ර මෙන්ම යුහුසුළුව ජීවන ඉලක්ක සපුරා ගන්නටත්, ආර්ථික ශක්තිය ගොඩනගා ගන්නටත්, අප යෙදෙන මේ අධිවේගී ධාවන තරගය අප වෙත ළගා කරවන්නේ දරාගත නොහැකි විඩාවක්ම පමණයි. ඉතින් එවන් විඩාබර දිවියකට සැනසුම් වර්ෂා රැගෙන ආ හැක්කේ අපූරු ළෙන්ගතු ලියමනකටයි. ඒ අතරින්ද රසවත් වැකියෙන් ගෙතී හැඩවුණු කවියක් අවිවේකී දිවියේ වේදනා බොහෝ දුරකට පළවාහැර සැනසුම් සුළං රැල්ලකින් විඩාබර සිතට පවන් සලනවා.
පෙරදිග අපරදිග පඩුවන් විසින් කවිය නම් මෙයැයි විස්තර කරන්නට විවිධ නිර්වචන, අර්ථවිවරණ හා පැහැදිලි කිරීම් සිදු කර ඇති නමුත් කවිය පිළිබඳ ස්ථිර නිගමනයකට එළඹෙන්නට ඔවුන්ට නොහැකි වුයේ කවිය පුළුල් විෂය ක්ෂේත්රයක් පුරා පැතිර පවතින හෙයිනි. මෙම දෙපාර්ශවය අතරින් පෙරදිග ආලංකාරිකයන් කාව්‍ය යනු රසවත් වාක්‍ය බව පෙන්වා දුන්නේ ඒ තුළ විවිධ රසයන් ගැබ්වී ඇති බව පෙන්වා දෙමිනි. ඒ අනුව, ශෝකය – කරුණා රසය හාස – හාස්‍ය රසය බිය – භයානක රසය ක්‍රෝධය – රොද්‍ර රසය උත්සහය – වීර්ය රසය විශ්මය – අද්භූත රසයපිළිකුළ – භීබත්ස්‍ය රසය රතිය – ශෘංගාර රසය භක්තිය – ශාන්ත රසය යන නවනළු රසයන් ශෝකය, බිය, හාස්‍ය ආදී භාවයන් තුළින් උපදින බව ඔවුන් විසින් පෙන්වා දෙන ලදී.
පෙරදිග ආලංකාරිකයන් අතරින් ශ්‍රේෂ්ඨයෙකු ලෙසින් බුහුමනට ප්‍රාත්‍ර වූ භරතමුනි පඩිතුමන් කාව්‍යක කතාව එහි ශරීරය බවත්, රසය එහි ආත්මය බවත් පෙන්වා දීමෙන් පෙනී යන්නේ කවියට නිමිති වන වස්තු බීජය පමණක් නොව කවිය රස විදි පසු සහෘද හදවත් තුළ ජනිත වන රසයද කවියක ගුණාත්මකබවට එක සේ වැදගත් වන බවයි. නමුත්, මනහර ආභරණ ඇගලූ පමණින්, කාන්තාවක් රූප සුන්දරියක් බවට පත්කළ නොහැක්කා සේම කවියකට ද අලංකාර වදන් එක් වූ පමණින් එය සාර්ථක කවියක් නොවනබව ගුණදාස අමරසේකර මහතා සිය ” විනෝදය හා විචාරය ” නම් පොත් පිංචෙන් මැනවින් පෙන්වා දී තිබෙනවා.
එහෙයින් කවියා තුළ පවතින ප්‍රතිභාව ද, එනම් අපූර්ව වස්තු නිර්මාණය කිරීමට ඇති හැකියාව, රසවත් කවියක් ජනිතවීමට නිසැකවම අවැසිවන්නකි.පෙර නොදුටු, නොඇසූ අපූරු නිර්මාණයකින් සහෘද සිත්සතන් තමන්වෙත නතු කර ගන්නට කවියාට අවශ්‍ය හැකියාව වන්නේ ද ප්රතිභාවයි.
ලොව අන්වැසියන් සාමාන්‍ය සිදුවීමක් ලෙසින් දකින දෑ සිය තෙවෙනි ඇසින් මැනවින් විනිවිද දකිමින් , රසවත් කවි පදයක් සහෘදයාට තිළිණ කරන්නට කවියාට හැකිවන්නේ මෙම ප්රතිභාවේ අනුහසිනි. එය සිතනා තරම් පහසු කටයුත්තක් නොවේ, බොහෝකලක සිට වේදනා විදිමින් මුතු බෙල්ලෙක් සිය කුස තුළ රදවාගත් වැලි කැටයක් අමිල, අගනා මුතු කැටයක් බවට පත් කරන්නා සේම කවියා ද තම සිත තුළ තෙරෙපෙන, හදවතට වද දෙන, සිය නින්ද උදුරාගත් වස්තු බීජයකින් රස වෑහෙන කවියක් පබදින්නේ නව කවියක් රැගෙන තමන් වෙත එනතෙක් පෙරමග බලා සිටින, සහෘද බලාපොරොත්තු ඉටු කිරීමට තමන්ට පැවරුණු වගකීම ඉටු කරමිනි.
මෙහෙදී සහෘදයන් ඉල්ලා සිටින රසය පමණක් සහෘදයාට පුදා නිදහස්වීම යහපත් කවියෙකුගේ කාර්යභාර්ය නොවේ. සහෘදයින් ආනන්දයෙන් මත්කර ඔවුන්ගේ බුද්ධියට ආමන්ත්‍රණය කිරීමේ උත්තුංග කටයුත්ත ද ඔහු විසින් සිදුකළ යුතුවේ.
උණුසුම් හිරු කිරුණින් වර්ණවත් උදෑසනත්, බැසයන හිරු රැස් පැතිරී යන අදුරත් එක්ව නිමවුණු ශාන්ත සන්ධ්‍යාවත්, ලොවම නිදි ගන්වා සීතල සුළග සමගින් ඔබට තනි රකින රාත්‍රියත්, සිත් සේ කවි රස විදින්නට සහෘද ඔබට ඇරයුම් කරන්නේ ඊට අවැසි මානසික සුවය ඔබට පුද කරමිනි. එපමණක්ම නොවේ ගත ,සිත ලාවට හිරිවට්ටමින් අද හැලෙන පොද වැස්සත් , උණුසුම් කෝපි හෝ තේ කොප්පයත් කවි රස විදින්නට අපූරු එකතුවක්බව ඔබට අමුතුවෙන් කියා දෙන්නට අවශ්‍ය නොවනබව මා දන්නවා.
ජීවිතයේ කදුළ, සුසුම, සිනහව, වේදනාව, තනිකම, යථාර්ථය මේ සියල්ල සිතට කා වදින ලෙසින් කියා පෑමට කවියක පද පෙලකට ඇත්තේ පුදුමාකාර හැකියාවක්. ඉදින් එවන් කලා නිර්මාණයක් තුළින් අපූර්ව භාව කම්පනයක් ලබන්නට සහෘදයින් කැමතිවීම පුදුමයක් නොවන්නේ කවිය ඒ තරමටම ජීවිතය ස්පර්ශ කරන්නක් වන බැවිනි.
ජීවිතය අතැඹුලක් සේ කැටිකොට නවනළු රසයෙන් හැඩ ගන්වා , නැවුම් කවියක් රසවිදීමේ පිපාසයෙන් පසුවන රසිකයන් වෙත ගෙන යන කවියා ඉන් ලබන ආත්ම තෘප්තිය රුපියල, ශත වලින් මිල කිරීම සිදු කළ නොහැක්කකි. අනෙකක් තබා ජීවිතය ද කවියකි, එහි සිදුවීම් සිදුවන්නේ අප සිතන, පතන අයුරින් නොවේ , ඒ නිසා ජීවිතය තුළින් කොයි මොහොතේ කුමන රසයක් උපදියි ද යන්න පිළිබඳව පූර්ව නිගමනයකට එළඹීම අපහසුය ඉදින් කවිය ද ජීවිතය පිළිබිඹු කරන කැටපතක් බව කිව නොහැකි ද?