මවකට දරුවන් තරම් වටිනා වෙනත් සම්පතක් මේ මුළු ලෝකයම පීරුවත් හොයා ගන්න හැකිවෙන්නේ නැහැ . ගැහැනියකට නැවත උපතක් ලැබෙන්නේ ඇය මවක් වූ දිනටයි . නමුත් ඇය හෙට , අනිද්දා ජීවිතයෙන් සමුගන්නට බලා සිටින ගැහැනියකි, ඉතින් මව් පදවිය ලැබූ පසු ඇය දුකත් , සතුටත් මුසු වූ අමුතුම හැගීමකින් පෙලෙමින් ජිවිතය විදින්නීය.
පිලිකාව යනු හිත් පිත් නැති මාරයෙකි, සුරගනන් බදු රූමත් යුවතියන් , කාන්තාවන් පිලිකා මාරයාට ගොදුරු වී සිටි ආකාරය ඔබ කොතෙකුත් දැක ඇති. සද මඩලක් සේ සුදිලුණු මුව කමල මිලාන වී , මේ ඇයමදැයි හදුනාගත නොහැකි පරිද්දෙන් වැහැරී ගොසිනි. කිතුල් මලක් සේ ඇදහැලුණු කෙස් කළඹ ඇයටත් හොරෙන් ඇය හැර ගොසිනි . මුඩු හිසින් යුත් ඒ රූපය ඇය කොතරම් වේදනාවක් වින්දේද යන්න යන්නට සාක්ෂ්‍ය දරයි . ඒත් ඇයට මුළු ලෝකයම හමුවී හමාරය , සිය කුසින් පුංචි පුතු පැටියෙකුට ජීවය පුදා අවසන්ය.
” සුන්ව ගිය පැතුමන් මතින් කිරි සුවද තාමත් මට දැනේ
සමාවුව මැනවි පුතුනි අම්මට නැහැ පිරුනේ කිරි වම් තනේ
ණයට හිමි මා ජීවිතේ උඹ නමින් තාමත් සවි වුනේ
කුස පිරෙනකම් උරා බීපන් පුතුනේ උඹටයි මගේ සෙනේ”
ජීවිතය මාරයාගෙන් ගත් ණයක් වැනිය . අනිවාර්යයෙන්ම ගෙවා දැමිය යුතුය. නොගෙවා සැගවී සිටිය නොහැකිය. අළුත උපන් පුංචි බිළිදු ළැමට උණුසුමින් ගුලි වී සිනිදු දෙතොලින් කිරි උරා බොන්නේ මේ නියතිය පිළිබදව අංශු මාත්‍රයක හෝ දැනීමක් නොමැතිවයි.
ඇයට පියයුරුවලින් එක් පියයුරක් අහිමිය. රෝගී සිරුරේ ඇති එක පියවුරක කිරි පමණක් සිය අලුත උපන් පුතුට ප්‍රමාණවත් නොවන බව ඇය හොදින් දනියි. එහෙත් පුතු වෙනුවෙන් උපන් සෙනෙහස උතුරා දෝරේ ගලයි.
” කදුළු අතරින් උඹේ සිනහ මුව බලා මා සිත සනසමි
මියෙනතුරු උඹ දිවි රකින්නට පුතුනි හැකි ලෙස කැපවෙමි
පිනක් නොවුණත් දැඩි කරන්නට මියැදුනත් මා ළග ඉමි
අම්මා ළග නැති දිනක පුතුනට දුකක් නොවන්නට පතනෙමි”
මරණයේ කළු අදුරු සෙවනැල්ලි සතර දිශාවෙන් පැමිණ තම ජීවිතය වෙලාගෙන අවසන්ය . කවදා කෙදිනක හෝ ඒ අදුරු සෙවනැල්ලි තමාව ගිලගනු ඇත . ඉතින් තණ පතක් අග රැදි පිනි බින්දුවක් වැනි තම ජීවිතය කොයි මොහොතේ ගිලිහී යයි දැයි කියන්නට බැරිය . ඒ අනිත්‍යයට උපේක්ෂාවෙන් මුහුණ දිය යුතුය. ඉන් පලා යන්නට හෝ සැගවෙන්නට කිසිදු අවකාශයක් නොමැත.
වත දුබලය , සවි ශක්තිය හීන් වී හොසිනි , එහෙත් මව් සෙනෙහස දුබලවී ගොස් නැත . පුංචි මුව කමලේ කිරි සිනහා දකින විට හද විලෙහි දහසක් මල් පිපෙයි. ජීවත්වන්නට ඇති ආසාව ඒ කිරි සිනහා දකින වාරයක් වාරයක් පාසාම යළි යළිත් දළු ලා වැඩෙයි. ඒ පුංචි අහිංසක හිනාව ඇස් කදුළින් පුරවා දමන්නට සමත් ය. ඉතින් හද උතුරා යන සෙනෙහසින් මව පුංචි පුතු වැළද ගනියි. ඒ කවදා තෙක් සිය ගත රුහිරු කිරට හරවා පුංචි පුතුට පුදන්නට හැකිදැයි සැකයකි, කවදා තෙක් මේ උණුසුමින් පුංචි පුතුව වැළද ගන්නට හැකිදැයි නොදනී, ජීවිතය ඒ තරමට අවිනිශ්චිතය. නමුත් තවමත් සිත සවිමත් ය. ඒ සවියෙන් දිවි ඇති තෙක් පුතුව ආදරයෙන් රකින්නට මේ මව තමන්ටම සපථ වී හමාරය.
“දුබල වත මත පුතුව සතපා උණුසුමින් තුරුළට අරන්
හැඩුම් ආවත් සිනාසෙන්නම් පුතුගේ මොලකැටි මුව බලන්
ලෙඩ වුවත් මා ගත මෙලෙස කිරි උරා බීපන් රත්තරන්
මගේ හුස්මවත් වටින්නෑ මට පුතුනේ උබේ හුස්ම තරම් “
හඩන්නට දෝ, සිනාසෙන්නටදෝ කියා කිසිවක් නොදනී . පුත්‍ර ස්නේහය සියළු වේදනාවන්ට වඩා බලවත් ය. ඒ සෙනෙහස සිරුරේ නහරයක් , නහරයක් පාසා , රුහිරු බින්දුවක් බින්දුවක් පාසා දිවෙයි. ජීවිතයයට අලුත් වටිනාකමක් දැනෙයි. හුස්මද නැවතී ඇති සෙයකි, මේ සෑම සතුටකටම හේතුව අළුත උපන් පුංචි පුතුය. තමන්ට ඒ සතුට කොතරම් කලක් හිතේ හැටියට විදින්නට හැකිවේද යන ප්‍රශ්නාර්ථය විටින් විට සිත පෙලයි.
කොයි මොහොතක හුස්ම පොද වා තලයට මුසුවේද යන්න නොදනී, යළි නොඑන්නටම ගිය එවන් දිනයක සද එළිය වී රෑ කළ පුතුගේ මුව සිප ගනිමි. සිගිති කුරුල්ලෙකුගේ මුවගින් ගිලිහෙන කුරුලු ගීතයක් වී පුතු නළවන්නෙමි. සුළං පොදක් වී පුතුට සිසිල සදන්නෙමි.
“ලොකු වෙලා නුඹ දිනක හිතුවොත් කෝ නුඹේ අම්මා කියා
අහස් තලයට නෙත් යොමාපන් තරු රකියි මා ළග තියා
ආදරේ වෙනසක් නොවී පුතු ළග හිදියි සෙවනැලි නියා
මතු සසරෙදිත් පතා එන්නම් මගේ පුතුනම සොය සොයා ”
නුදුරු දිනකදීම මේ මව මියෙනු ඇත , එහෙත් පුතුනි මා හදපිරි පුත්‍ර ස්නේහය නොමියෙනු ඇත. දිනෙක රෑ අහසට නෙත් යොමන විට නුඹ දෙස ආදරයෙන් බලා හිදින තරුවක් නුඔට ඇස ගැටේවි. මා පුතුනි ඒ මරණින් මතුත් නුඔ දෙස බලා හිදිමින්, නුඔට ආදරය පුදන නුඹේ අම්මාය .