විවාහක දුවට අම්මාගෙන්

හිතුනත් උඹව ඇවිදින් බලලා යන්න 
නිදහස නෑනේ පෙර මෙන් දුවලා එන්න 
උඹ මට තාම පුංචියි ලොකු නෑ ඔන්න 
එන්නම් විගහ මගේ දූ නාඬා ඉන්න 

කටහඬ නොමැති මහ ගේ පාලුව පුපුරා
නුඹ නැති මතක මැවුනා කඳුළැලි උතුරා
අනේ මගේ ගිරවියේ හුළඟට මතුරා
පනිවිඩ තියාපන් හුරතල් හඬ කොඳුරා 

තනියෙන් කොහොම වැඩ ටික නුඹ කරගන්නේ 
කටට රහට කෑමද කුස පුරවන්නේ
ලෙඩට දුකට නෑ අම්මා ලඟ ඉන්නේ 
මගේ පණ ඒකමයි මේ හිත ඇවිලෙන්නේ 

කොච්චර වෙහෙස වින්දත් මම එක දිගට 
කොස්සක් දෙන්නවත් ලෝබයි උඹේ අතට
එන්නට ඇහැකි නම් වැඩ පල කර යසට
උඹ රැකගන්නේ මම මැණිකක් සේ නෙතට

අහස ගුගුරවා වැසි වැටෙනා වේලේ
දනිමි ගැහෙන හැටි බිය වී නුඹ බාලේ
නොදැනිම දෑත් බැඳ බුදුකුටියට සාලේ
දූ ගැන හිත හිතයි ගෙවුනේ මගේ කාලේ

නොදැනිම කාලේ දු නොදැකම ගත වෙන්නේ 
දිවි බර තමයි කාටත් එය පොදු වැන්නේ
උඹටත් දිනක මවු පදවිය හිමිවන්නේ
එතකල් ඉවසමින් නිදුකින් සැනසෙන්නේ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here