ආදරයෙන් දෑත් බැඳෙන සොඳුරු කසාද..
දෙමාපියන් ගේ බලයෙන් බැඳෙන කසාද..
දෑවැදි මිල මුදල් ගන්න කරන කසාද.
විටක මිහිරි විටක අඳුරු වෙනවා කසාද..

කාසි බාගේ ඇත්තෝ රජ මඟුල් කති..
අතමිට හිඟයි නම් බැඳි රන් පෝරු නැති ..
ගෙදරින් සමා නැත්තෝ හඳ පානේ යති..
නොබැඳ පවුල් කන ඇත්තොත් බොහෝ ඇති..

වසර ගනන් පෙම් කෙරුවත් විවාහෙදි..
මඟ වැරදෙයි ඉවසිලි නෑ සුරාවෙදි..
අවබෝදෙත් විශ්වාසෙත් නිගාවදී ..
පෑල දොරෙන් පැන යයි දික්කසාදෙදි..

බිරිදට හොරා සොයනා අනියම් බිරියන්..
සැමියට හොරා සොයනා අනියම් සැමියන්..
දෙලොවක් අතරේ සරනා කළ අඹුසැමියන්..
දෙදරා යනවා උන් හැමගේ විවාහයන්..

වැරදි ඇසෙන් බලනා විට ඇඳවෙන්නේ..
වටහා නොගෙන දින ගානේ ඔරවන්නේ..
කරන කියන වැඩ නෑ තව දිරවන්නේ..
ආදරයෙන් ඉන්න කලක් නැතිවෙන්නේ..

රණ්ඩු සරුවලෙන් ජීවිත ගෙවන්නට..
ගුටි ඇනලා සැරවැර කර බනින්නට..
ලේ උණුවෙන අතවරයන් කරන්නට..
කිසිවිට එපා දුක් කරදර විඳින්නට..

ආදරයෙන් ජයගත හැකි දේ බෝමයි..
ගෞරවයෙන් ඉවසුවොතින් සැනසීමයි..
දෙපස මවු පියන් එක ලෙස සැලකීමයි..
සොඳුරු විවාහෙට මේ හැම දෙය උරුමයි..

එක හා සමව දෙදෙනා ගැන විමසිල්ලෙන්..
දුක සැප බෙදා එක නිවසක සැනසිල්ලෙන්..
හිටියොත් නොයා වෙන හිත් ගැන දැවටිල්ලෙන්..
ගැලවිය හැකියි දික්කසාද පැමිණිල්ලෙන්..

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here