වියපත් දෙනෙත නැවති මොහොතක් රැඳුනි..
මතකේ හෙමි හෙමින් දුර ඈතක දිවුනි..
එක්ව අකුරු කළ මිතුරිගේ රුව දිලුනි..
මටත් නොකියා නුඹ මලගම් ගොස් තිබුණි..

සුවයක් නොවී ලෙඩ ගානෙම හිටි හන්දා..
මිතුරියේ නුඹත් මට මඟ හැරුනද මන්දා..
මේ ටික දොහට මන් නුඹ ළඟ නැති හින්දා..
නොපෙනෙන දෙවියෝ ගියාද නුඹ එහි කැන්දා..

වාවනු නොහේ මිතුරියේ නුඹෙ නික්මීම..
කෙලෙස ගියා දෝ මටවත් නොකියාම..
දෑස අදහා ගන්නට නොහැකියි තාම..
කඳුළු වැටෙයි දුක දැනෙනවා අද බොහොම…

හිමිවන සියලු දේ අනියත තමයි ලොවේ..
සිතනා විටදි මා හිත අද දුකින් තැවේ..
තව වැඩි කාලයක් නෑ ඉන්නට මටත් භවේ..
එන්නම් ඉදිමු අපි දෙන්නම මකා සොවේ..

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here