ලෙයින් කඳුළින් පුතුන් සදනා පින්සාර අප්පච්චියේ..
කොතෙක් දුක් ගිණි නුඹ දැරූවද මුවින් කෙඳිරිලි නෑසියේ..
දෑතේ කරගැට පිපුනදෝ නෙක ගැහැට විඳිනා සන්දියේ..
මහලු කල අද උදාවූවද යුතුකමින් නෑ දුර ගියේ..
කුසට අහරක් නුඹට නැතුවත් දරුවන්ගේ කුස පුරවනා..
හැඩට ඇඳුමක් ඇඟට නැතුවත් දරුවන්ව නිති සරසනා..
ලෝකයා රවනා බැලුම් දැක දරුවන්ව ඉන් ගලවනා..
නුඹයි ආදර ආකරේ දරුවන් මැණික් කැට කරවනා..
ජීවිතේ ජීවත් කරන්නට නුඹ විඳින දුක් අපමණයි..
වීරියෙන් ලෝකෙම දිනන්නේ ඔබෙන් ලද ශක්තිය නිසයි..
දහඩියෙන් වුව ඔබේ සිරුරේ ලොවුතුරා සුවඳක් හමයි..
ලොවේ නිහඬම පෙම්වතාණෝ තාත්තේ මට නුඹ තමයි..
මුවින් ආදරේ නොකියනා මුත් හිතින් දරු පෙම නිති දරා..
දරදඬුයි ඔබේ බැල්ම නිරතුරු ඒත් හද උණු වෙයි හොරා..
මවට බුදුබව ලබා දෙන ඒ විවරනෙන් පියතුම කරා..
කොටියක් දෙවිවරු රකිවා පියතුමන් සසරේ පුරා..