ආදර-කළලයේ-දොරගුලු-හරින්නට

ආදර කළලයේ දොරගුලු හරින්නට..
හීගඩු පිපෙන නුහුරට සම වදින්නට..
නව මස් හීනයක් හුස්මක් කරන්නට..
ඉඩදී හිඳිමි පුතු පැටියට පිපෙන්නට..

 ඇතිවී නැතිව යන එන රිදුමන් අතරේ..
 සිහියක් පවා නැතිවන ගැස්මකි උදරේ..
 ඉහිරී ගලා යන විට ගැබ රැඳි වතුරේ..
 මෙතුවක් දරා උන් කඳුළින් නෙත පිපිරේ.

 කකියන දෙපා කණු අතරේ රඳන්නේ..
 ඇදවුනු කොන්ද පිට හා වද දෙවන්නේ..
 සියුම් තුඩින් එන්නත් විද කපන්නේ..
 පුතුනට එන්න පාරයි මේ හදන්නේ..

 ඉහළ පහළ යන හුස්මට වෙර දීලා..
 තෙරපමි කෙඳිරි ගාමින් තව බර දාලා..
 සිරුරේ සියලු අස්ථිත් එකවර බිදිලා..
 නෑ මින් මනත මේ වන් රිදුමක් විඳලා..

 එක එක ඉරි ඉරි ලේ මස් කැදළි කැඩී..
 පුතු හිස පොවන්නට දරනා වෙහෙස වැඩී..
 රිදුමක් නොදී කිසිවිට මගේ පුතුට පොඩී..
 ඉවසා ලිහිල් කරනෙමි හිත නොකර දැඩී..

රතු ලේ ගඟක් නොනවත්වා ගලන්නේ..
සිහියක් නොවේ දෑසම ඉකි ගසන්නේ..
හිසත් උරහිසත් සිවි බිඳ දමන්නේ..
හඬමින් කෑ ගසා පුතු ලොව වඩින්නේ..

සයුරේ කිමිද සිටි කිඳුරෙක් විලාසේ..
පුංචි ඇඟේ ලේ කැටි රැළි වලාසේ..
පෙකනි වැලෙන් සිඳ පපුතුරු පලාසේ..
වැතිර නිවා ගනු පුතු කිරි පිපාසේ..

නිමා නොවෙන ඉහිලුම් ගත ගිනි තියන..
ඇරුණු දොර පියන් මැහුමින් තද කරන..
සැනසුම් සුසුම් වා තලයට මුහු කරන..
උතුම් මවට පලදමි මේ කවි භරණ..

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here