එක-මවු-කුසයේ-උණුහුම

එක මවු කුසයේ උණුහුම අප වෙත නොවුණි..
එනමුදු සොයුරු දම් බැම්මෙන් හිත බැඳුණි..
මා විඳි දුකක් සතුටක් ඔබටද දැනුණි..
යනඑන මඟ හෙවනැල්ලක් මෙන් රැඳුණි..

සොයුරියේ ඔබේ සෙනෙහේ විටකදි මවකි..
විටකදි පියෙකි විටකදි මිතුරෙකි සුරැකි..
අඳුර කපා එළිය ගෙනෙන පුර හඳකි..
පිරිසිදු හිතත් නිල්දිය ගලනා දොළකි..

වැටෙන තැවෙන තැන හිඳිමින් හිත වත්තම්..
දිරිය දෙමින් යන එන මඟ කළ ගෙත්තම්..
සිත නොරිදා හැමදා බෙදමින් ඔවදම්..
අගෙයි නිබඳ සොයුරු දමට ඇඳි සිත්තම්..

ළබැඳි සොයුරියේ ජීවිතේ තියෙන තුරා..
නිරතුරු බෙදමි ආදරේ ඔබේ නමින් පෙරා..
උපදින මියෙන හැම අත් භවයකම සරා..
හමුවෙමු උතුම් සොහොයුරු පෙම හිතින් දරා..

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here