මගේ වස්තු ඇයි උඹ මේ අඬන්නේ..
අම්මා විඳින දුක දැකලද තැවෙන්නේ..
කපා කොටා උඹ ගෙන මා මහන්නේ..
උඹේ ගැනම හිතලයි මම හිඳින්නේ..
උල් කටු තුඩින් කොන්දට හිරි විඳින කොට..
ඉවසන් හිටියේ සුදු උඹේ රුව දකින්නට..
පිහිතුඩු අගින් කුස හූරා ඉරනකොට..
දැනුනා බරට පුතුනේ උඹේ අම්මාට..
රුහිරු ගඟක් සිරුරෙන් මගේ ගලන්නේ..
පුතුනි නුඹත් ඉන් නෑවී තෙමෙන්නේ..
කපා කොටා රිදවා කුස දෙසින්නේ..
පුතුගේ කෙඳිරියයි මට දැන් ඇසෙන්නේ..
නව මාසයක් පුතුනේ මගේ කුසේ වැඩී
දිරිය ගතපු හැටි කරගෙන හිතද දැඩී..
පුoචි උඹට එන්නට ඉඩ දෙමින් මැඩී..
සත් පටකට සිනිඳු කුසත් ගියා කැඩී..
අනේ මගේ පුතුනට රිද්දන්න එපා..
මට රිදුනත් පුතාට එය දැනෙනු එපා..
සිඟිති නුඹට සීරිමක් වෙන්න එපා..
අම්මා හඬන හඬ පුතාට ඇසෙනු එපා..
සැත්කම කළත් පුතුනේ උඹ ඉපදෙන්න..
කිසිවිට පහසු නොමවේ එය ඉවසන්න..
කුසයේ කැපුම් ඇත පුතුනේ සිහිවන්න..
රතු ලේ කිරි උනා පුතු කුස පුරවන්න…