නැවතිලා මගේ හුස්ම බිඳුවක් නුඹේ නෙතු බැම්මේ..
හිරවෙලා දහසක් පැතුම් මත සතුට හිත නැම්මේ..
වෙව්ලලා සියොළඟම හීගඩු පිපුන මුත් පිම්මේ..
දරමි විඳගමි පුතුනි අමිල වු මිහිර පිය ගැම්මේ..
බෝ දුකක් විඳ මවුන් විලිලා නුඹට පණ දුන්නා පුතේ..
බලා සිටියා අද්දරින් ඉහ වේදනා උහුලා හිතේ..
රත්තරනේ කිරි උනේ නැතුවත් රුහිරු මා පිරිපුන් ගතේ..
මා තමයි පින් පාට තැවරුවේ පිදුම් ලන දාගැබ් කොතේ..
සුවඳකින් වුව පුතේ පුදුමයි හැඳිණු හැටි මා නෙත් කැලුම්..
කටහඬට ඉඟියකින් පෙරලා මවෙත පෑ සෙනෙහේ බැලුම්..
මුදු මොළොක් හින්දාම තවමත් නුහුරු නැළවිලි මට නැවුම්..
අපූරුයි අපමණයි පුතුනේ නුඹ නිසා ඉපිදෙන හැඟුම්..
මා නොවිඳි හැම සම්පතක් සැප නුඹ ළඟින් තියලා..
රකිමි මතුවට දුකක් නොමදී පණ ලෙසින් හිතලා..
අසීමිත ආදරෙන් නුඹගේ මුව කමල සිඹලා..
බදා ඉන්නම් පුතේ නිදියන් සුව සිහින බලලා..