විඩාබර දිවියට ඉසිඹුවක් ළං කරන්නට කලාව ඉවහල් වෙනවා, ඒ අතරින්ද ජීවන විඩාව දුර ඈතකට පළවා හරින්නට , මී බිදක් සේ රසවත් සදැස්, නිසදැස් කවියට ඇත්තේ පුදුමාකාර හැකියාවක් . සරසවි දේවියගෙන් අතළොස්සකට පමණක් හිමිවන කවීත්වය දෝතින්ම දරාගෙන , වර්ෂ 1979, උදුවප් මස නවවන දින ජන්ම ලාභය ලැබූ ඇය අන්කිසිවෙකුත් නොව " කවි හිතින් ලෝකය දකින " මාලිකා මිස්කින් කිවිඳියයි. මිනිස් ජීවිතයේ ආදරය, කරුණාව , දයාව, දුක , ශෝකය, විරහව ආදී මානුෂීය හැගීම් පුදුමාකාර ප්‍රතිභාවකින් යුතුව සිය නිර්මාණයන් තුළින් මැනවින් ස්පර්ශ කරන මේ කිවිදිය සයිබර් අවකාශයේ තමාට හිමි ඉඩකඩින් ඒ රස කවි ලොව පුරා විසිර සිටින සහෘදයින් වෙත සමීප කරවීමේ පළමු වෑයම 2017 වසරේ දුරුතු මස මුහුණ පොතේ " මා කවි අරණ" කවි පිටුව ඇරඹීමෙන් සඵල කර ගන්නීය. "ලොවින් එකෙක් එක දෙයකට වෙයි සමත" යන වැකියට අභියෝග කළ ඇය , පාසල් සමයේ සිට නිර්මාණකරණය , නර්තනය , රංගනය, කථිකත්වය ආදී විවිධ අංශයන්ගෙන් මනා දස්කම් පෑ සිසුවියකි. වත්මනෙහි ද ව්‍යාපාර ලෝකය තුළ ඇය අත්පත් කරගත් කීර්තිමත් නාමය ඇයගේ දස්කම් මැනවින් කියාපාන තවත් එක් සාධකයකි. ඇයගේ සුරතින් පද ගෙතුණු , පූර්ණ සචින්තගේ හඩින් රස ගැන්වුණු " ආයාචනා" ගීතය ඇයගේ කුළුදුල් ගී නිර්මාණයයි. "මා කවි අරණින්" සිය නැවුම් කවි රසය සහෘදයන්ට තිළිණ කරන අතරතුරම , හැකි පමණින් නවක කලාකරුවන්ට අතහිත දෙන්නට ද ඇය අමතක නොකරන ඇය , සිය නිර්මාණ ගීතවත් හඩින් පණ ගන්වන්නට නවකයන්ට නිහතමානීව ඇරයුම් කර සිටින්නීය. සිය රසවත් කාව්‍ය නිර්මාණ තව තවත් ළෙන්ගතුව සහෘදයින් වෙත ළං කරනු රිසින් එළිදක්වන මෙම වෙබ් පිටුව ඇගේ කවියට , ගීතයට පෙම්බැඳී ඔබට ඇගෙන් පිදෙන තවත් එක් අනගි තිළිණයකි.