ඔබ වැනි නිරිදුන් කිම පෙළණු දිළිදුන්

“දුප්පත්කමත් වලිගය නැති ගොනා වැනි ” මුදල් පසු පස දිවෙන සමාජයක් තුළ මනුෂ්‍යත්වය කොතරම් අසරණ වෙනවද යන්නට මේ කවි පදය හොදටම ප්‍රමාණවත් . හාෆ් ෂීට් දෙකක් තරම් දිග ජීවදත්ත පත්‍රිකාවකට විවිධ සුදුසුකම් ඇතුළත් කර ගැනීමේ අදහසින් හිස් ලූ ලූ අත උමතුවෙන්  දිවෙන  මිනිසුන්ට  සිත් සේ ජීවිතය විදින්නට නොහැකිය.  රැකියාවට , උපාධියකට, විවාහයකට සිරවුණු මිනිස් ජීවිතවලට තම යුතුකම්, වගකීම් , සියල්ල අමතකව ගොසිනි. 
සිලි සිලි හඩින් අතු පත් සොලවමින් මියුරු ගී ගයන ගස් කොළන්ද , ඒ ගහකොළ මත සිටින නා නා කුරුලු වර්ගයා ද , මලින් මලට පියා සලන අහිංසක සමනලයන් ද , සොබාදම් මෑණියන්ට ආදරය කරන මෙන් නිහඩව කියා සිටින ඉල්ලීම අසන්නටවත් මිනිසුන්ට ඉසිඹුවක් නොමැත.
 ඉතින් , මෙවන් හැගීම් විරහිත මිනිසුන් අතින් කිළිටි වන පරිසර මාතාවට පණ දීම රැකියාව කරගත් මිනිසුන් පිළිබඳ කතාව නම් එතරම් සුන්දර නොවෙන්න පුළුවන් බව අකමැත්තෙන් වුවත් කිව යුතුයි .
  වෙහෙසකර දවසක සීතල සුළං පොදක් විදින්නට උද්‍යානයකට යන ඔබට, මුහුදු වෙරළක අස හිදගෙන බැසයන ඉර දෙස බලා සිටින් ඔබට එලෙසින් ජීවිතය විදින්නට ඉඩකඩ හිමිවන්නේ  , ඒ විනෝද උයනේ , වෙරළ තීරයේ පවිත්‍රතාව සුරකී තිබුණොත් පමණි.

” වෙහෙස අද්දර කිරා වැටෙන නෙතු පියන් බරවී 
කියා ගන්නට බැරුව ළතවෙන හීල්ලුම් හිරවී
දෙසවනේ රැව්දෙනා කෑමොර දෙස් දෙවොල් පිරවී
අපේ දුප්පත්කමට දෙවියොත් ඇතේ අද ගොලුවී”

පරිසරයේ සුන්දරත්වය සුරකින්නට වෙහෙස මහන්සි වෙන , ඇපකැප වෙන මිනිසුන්ගේ ජීවිත තුළ සුන්දරත්වය යන වදන ලියවී නැත . ගිනියම් හිරු රැසින් විදි පීඩාවලින් ගතෙහි වෙර සිදී ගොසිනි. හිස සත්කඩකට පැළී යන්නට ළංවූවාක් මෙන් රිදුම් දෙයි. සුළු පමාවකින් පිහි තුඩු සේ රිදුම් දෙන බැනුම් වර්ෂාවකින් තෙමෙන්නට ද සිදුවේ.  ඉතින් මේ වෙහෙසකර ජීවිතය සෑම විටකම ළගා කරවන්නේ දුකක්ම මිස අන් කවරක් ද ? 
මහමග සුන්දරය , වැටුණු කොළ රොඩු අතුගා මැනවින් පිරිසිදු කර තිබේ . නමුත් එලෙස සේවයක් ලබාදෙන්නන්ගේ ජීවිත පිළිවෙළක් වන්නේ කවදාද? ඒ දුක චක්‍රයක් බදුය. අතට ලැබෙන මාස් පඩිය ණය පොතේ ණය ගෙවා දමන්නටවත් මදිය. අද ගන්නා වැටුපෙන් ගිය මස ණය මුදල්  ගෙවා දමා යළිත් මේ මස කඩෙන් ණයට බඩු ගනියි . නමුත් ජීවිතය බොහෝ දුක් කරදර මධ්‍යයේ කෙලෙසක හෝ ගෙවා දැමිය යුතුය.

” දෙනෝ දහක් යනෙන මාවත දූලි අතුගාලා 
කිලුටු දෑතින් අපුල උහුලා නෑ හොදක් අහල 
ලැබෙන සොච්චම් පඩිය මදිවී රටට ණයවීලා 
අපේ ජීවිත අපට නොදැනිම ඇතේ දියවීලා “

ඔවුන්ගේ ජීවිතද අවර්ණ වූ රෙදිකඩක් බදුය. වැස්සට, අව්වට , සුළගට සායම් මැකී ගොසිනි , දිරාගිය නූල් ඇදී ගොස් තැනින් තැන ඉරී ගොසිනි. කොතරම් දුබල ද යත් යළිත් මසන්නට නොහැකි පරිද්දෙන් ජීවිතය ද කඩමාළු වී ගොසිනි. 
කුඩා කළ සිට දුප්පත්කමින් මිරිකෙමින් සිටිය නිසා හරි හමන් අධ්‍යාපනයක් ලබන්නට තිබූ අවකාශය ඇහිරී ගියෙන් උරුම වූ ජීවිතය තුළ ජීවත්වෙනවා ඇරෙන්නට , තමන්ට එවන් ජීවිතයක් උරුම කළ සමාජ ක්‍රමයට , පාලකයන් වෙත ඇගිල්ලක් දිගු කරන්නට මෙවන් මනුෂ්‍යයන් උත්සාහ කර්න්නේ නැත.
එමෙන්ම තමන්ගේ ජීවිත සුඛිත , මුදිත කර ගන්නට වෙහෙසෙන මිනිසුන්ට මෙවන් මිනිසුන්ගේ ඇස අග  රැදි කදුළුවල සේයාවක්වත් නොපෙනේ . මන්දයත් කුඩා කළ සිටම තරගකාරී අධ්‍යාපන රටාවකට හුරු වූ ඔවුන්ගේ සිත තුළ අනෙකාගේ කකුලෙන් ඇද හෝ තවත් එක් පියවරක් ඉහළ නැගිය යුතුයයි යන හැගීම පමණක් රජයන හෙයිනි .එවන් තරගකාරී මිනිසුන්ගේ හදවත් හැගෙන්නේ ද රැකියා උසස්වීමක් , නිවසක් , තවත් උපාධියක් , ඉහළ සමාජ තලයක් ළගා කර ගැනීමේ අපේක්ෂාව  පමණි.
එවන් හදවතක් තුළ අනෙකාගේ දුක, තනිකම , වේදනාව තේරුම් ගන්නට තරම් සානුකම්පාවක් ජනිත වන්නට ඉඩක් කොහිද ? ඒ තබා මාපියන් තමන් ද තරගකාරී වෙමින් , දූ දරුවන් ද තව තවත් ළගා කර ගැනීමට අපහසු ජීවන අපේක්ෂාවන් ළගා කරගනු පිණිස පොළඹවනු ලබයි.

” රූපේ හැඩකම් කියා පෑවත් පිරුණු අපේ කදුළු
දුකම විතරයි දුටුවේ කවුරුද ව්දින කම්කටොළු 
සිහින කවදත් සිහින් පමණයි නැතේ පින තුරුළු 
අනේ කවදා  තැනේවිද  අප නමින් පුර සදළු”

සතුටින් ජීවත් වීම, ආදරය විදීම , මූල්‍ය ශක්තිමත්භාවය ළගා කර ගැනීම වැනි ඉලක්ක ඔවුන්ගේ ජීවිත තුළ කිසිදු දිනයක සැබෑ නොවන  සිහින පමණි. එවන් ජීවිතයකට සැනසුම , සතුට උරුම කරදිය හැක්කේ අනුන්ට පිහිට වන , ආදරය බෙදන , සැබෑ මනුෂ්‍යත්වය පිරි සිතකට පමණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here